බරවීම්

පරිවර්තන [18]

දසධර්‍ම සූත්‍රය

’’මහණෙනි, මේ ධර්‍ම දසයක් පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළ යුත්තාහ. කවර දසයක්ද යත්.

’’වෙනස් වර්‍ණයකට පැමිණෙන ලද්දෙමි’’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කටයුතුයි. ’මාගේ ජීවිකාව අනුන් පිළිබඳය’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ’මා විසින් අන්‍ය (ගිහියන්ගෙන් වෙනස්වූ) හැසිරීමක් කටයුතුය’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ’කිමෙක්ද, මාගේ සිත සීලයෙන් මට උපවාද නොකෙරේදැ’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ’කිමෙක්ද, මා විචාරා ඤාණවන්ත සබ්‍රහ්මචාරීහු සීලයෙන් පරිභව නොකෙරෙත්දැ’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ’මාගේ සියලු ප්‍රිය මනාප දෙයින් වෙනස්වීම, වෙන්වීම වේය’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ’මම කර්‍මය ස්වකීය කොට ඇත්තේ වෙමි. කර්‍මය අයිති කොට ඇත්තේ වෙමි. කර්‍මය උත්පත්ති ස්ථානය කොට ඇත්තේ වෙමි. කර්‍මය නෑයන් කොට ඇත්තේ වෙමි. කර්‍මය පිළිසරණ කොට ඇත්තේ වෙමි. යහපත් හෝ, අයහපත් යම් කර්මයක් කරන්නෙම්ද, ඊට හිමි වන්නෙමි’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ’කෙසේවූ මටරෑ දාවල් ඉක්මෙත්දැ’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ’කිමෙක්ද මම ජනයාගෙන් හිස්වූ ප්‍රදේශයෙහි ඇලෙන්නෙම්දැ’ යි පැවිද්දා විසින් නිතර මෙනෙහි කළයුතුයි. ’’මා කෙරෙහි මනුෂ්‍ය ධර්මයට මත්තෙහි ආර්‍ය්‍ය භාවය සිද්‍ධ කිරීමට සුදුසු ඤාණයක් ලබන ලද්දේද, ඒ මම පසු කාලයක සබ්‍රම්සරුන් විසින් විචාරණ ලද්දේ නිශ්ශබ්ද නොවන්නෙම්දැ’ යි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවෙක්‍ෂා කළයුතුයි. මහණෙනි, මේ දස ධර්‍මයෝ පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවෙක්‍ෂා කට යුත්තාය’’ යි වදාළ සේක.

විවරණ [0]