බරවීම්

පරිවර්තන [16]

දුතිය සාමණ්ඩ සූත්‍රය

එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ රට නාලක ගමෙහි වාසය කරණ සේක. ඉක්බිති සාමණ්ඩකානී පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වීය. සතුටු වියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.

එකත්පසෙක සිටි සාමණ්ඩකානී පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේට, ’’ඇවැත්නි, ශාරීපුත්‍රය, මේ ධර්‍ම විනයෙහි කුමක් සැපද, කුමක් දුක්දැ’’ යි ඇසීය. ’’ඇවැත්නි, මේ ධර්‍ම විනයයෙහි නොඇලීම දුක්ය, ඇලීම සැපය. ඇවැත්නි, නොඇලීම ඇති කල්හි යන්නේද සැපක් යහපතක් නොලබයි. සිටියේද සැපක් යහපතක් නොලබයි. හුන්නේද, සැපක් යහපතක් නොලබයි. හෝනේද, ගමට ගියේද, වනයට ගියේද, රුක්මුලට ගියේද, හිස් ගෙවලට ගියේද, අවකාශ ස්ථානවලට ගියේද, සංඝයා මැදට ගියේද, සැපක් යහපතක් නොලබයි. ඇවැත්නි, නොඇලීම ඇති කල්හි මේ දුක කැමති විය යුතුයි. (ධර්‍ම විනයයෙහි) ඇලීම ඇති කල්හි මේ සැප කැමති විය යුතුයි. යන්නේද සැපක් යහපතක් ලබයි. සිටියේ, හුන්නේ හෝ ගමට වැදුනේ ගෙදරට ගියේ, රුක් මුලට ගියේ, හිස් ගෙවලට ගියේ, අවකාශ ස්ථානවලට ගියේ, සඟ මැදට ගියේ, සැපක් යහපතක් විඳියි. ඇවැත්නි, ඇල්ම ඇති කල්හි මේ සැප බලාපොරොත්තු විය යුතුයි.’’

විවරණ [0]