බරවීම්

පරිවර්තන [13]

නලකපාන සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට චාරිකාවෙහි හැසිරෙන සේක් මහත් භික්‍ෂු සමූහයක් සමග නළපාන නම් කොසොල් රට වාසීන්ගේ නියම් ගමක් වේද, එහි විසූ සේක. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නළපාන ගමෙහි, පලාස වනයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ දිනයෙහි භික්‍ෂු සංඝයා පිරිවරා වැඩ හුන්නේ වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි බොහෝ වේලාවක්ම භික්‍ෂූන් සමග ධාර්මික කථාවෙන් කරුණු දක්වා, පෙන්වා, සමාදන් කරවා, තෙදගන්වා, සතුටු කරවා, තුෂ්ණීම්භූතවූ භික්‍ෂු සංඝයා බලා ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේට ආමන්ත්‍රණය කළ සේක.

’’ශාරීපුත්‍රය, භික්‍ෂු සංඝයා පහවූ නිදිබර ගතියෙන් යුක්තය. ශාරීපුත්‍රය, භික්‍ෂූන්ට ධර්‍ම කථාව කිරීමට ඒ ඔබට වැටහේවා. මාගේපිට රිදේ. ඒ නිසා මම නවතින්නෙමි.’’

’ස්වාමීනි, එසේය’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සතරට නමා, දකුණු පාර්‍ශවයෙන් පාදයෙහි පය පිහිටුවා සිහියෙන්, මනා නුවණින් නැගිටින සංඥාව මෙනෙහි කොට සිංහසෙය්‍යාව කළ සේක.

එකල්හි වනාහි, ’’ඇවැත් භික්‍ෂූනි’’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ’’ඇවැත්නි’’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’’ඇවැත්නි, යම් කිසි කෙනෙකුට කුශල ධර්‍මයන්හි ශ්‍රද්‍ධාව නැද්ද, ලජ්ජාවක් නැද්ද, බියක් නැද්ද, වීර්‍ය්‍යයක් නැද්ද, ප්‍රඥාවක් නැද්ද, ඕහට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමති විය යුතුය. වැඩීමක් නොවේ. ඇවැත්නි, යම් සේ කළුවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්රෑ දවාලක් එයිද, වර්‍ණයෙන් පිරිහෙයි. වටයෙන් පිරිහෙයි. ආලෝකයෙන් පිරිහෙයි. උස මහතින් පිරිහෙයි. ඇවැත්නි, එසේම කුශල ධර්‍මයන්හි යම් කිසිවෙකුට ශ්‍රද්‍ධාවක් නැද්ද, ලජ්ජාවක් නැද්ද, බියක් නැද්ද, වීර්‍ය්‍යයක් නැද්ද, ප්‍රඥාවක් නැද්ද, ඕහට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමති විය යුතුය. වැඩීමක් නොවේ.

’’ඇවැත්නි, අශ්‍රද්‍ධාවත් පුරුෂ පුද්ගලයාය යන මෙය පිරිහීමකි. ලජ්ජා නැති පුද්ගලයාය යන මෙය පිරිහීමකි. බිය නැති පුද්ගලයාය යන මෙය පිරිහීමකි. කම්මැලි, නුවණ නැති, ක්‍රොධ කරණ, බද්‍ධ වෛරය ඇති, ලාමක බලාපොරොත්තු ඇති, පාප මිත්‍රයන් ඇති, වැරදි දෘෂ්ඨි ඇති පුරුෂ පුද්ගලයාය යන මෙය පිරිහීමකි.

’’ඇවැත්නි, යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇත්ද, (පවට) ලජ්ජාවක් ඇත්ද, පවට බියක් ඇත්ද, වීර්‍ය්‍යයක්, ප්‍රඥාවක් ඇත්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් ඒද, කුශල ධර්මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුතුය. පිරිහීමක් නොවේ. ඇවැත්නි, යම් සේ පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්රෑ දවාලක් ඒද වැඩේමය. පාටින් වැඩෙයි. වටයෙන් වැඩෙයි. ආලෝකයෙන් වැඩෙයි. උස මහතින් වැඩෙයි. ඇවැත්නි, එසේම යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇද්ද (පවට) ලජ්ජාවක් ඇද්ද, (පවට) බියක් ඇද්ද, වීර්‍ය්‍යයක් ප්‍රඥාවක් ඇද්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්මයන්හි වැඩීමක්ම කැමති විය යුතුය. පිරිහිමක් නොවේ.

’’ඇවැත්නි, ශ්‍රද්‍ධාවත් පුරුෂ පුද්ගලයාය යන මෙය නොපිරිහීමකි. ලජ්ජා ඇති, බිය ඇති, පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නුවණ ඇති, ක්‍රොධ නොකරණ, බද්‍ධ වෛර නැති, වැඩි බලාපොරොත්තු නැති, යහපත් මිතුරන් ඇති, සම්‍යක් දෘෂ්ඨික පුරුෂයාය යන මෙය, ඇවැත්නි, නොපිරිහීමකි.’’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ආමක්ත්‍රණය කළ සේක. ’’ශාරීපුත්‍රය, යහපත. ශාරීපුත්‍රය, යම් කිසි කෙනෙකුට කුශල ධර්‍මයන්හි ශ්‍රද්‍ධාව නැද්ද, ලජ්ජාවක් නැද්ද, බියක් නැද්ද, වීර්‍ය්‍යයක් නැද්ද, ප්‍රඥාවක් නැද්ද, ඕහට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමති විය යුතුය. වැඩීමක් නොවේ. ශාරීපුත්‍රය, යම් සේ කළුවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්රෑ දවාලක් එයිද, වර්‍ණයෙන් පිරිහෙයි. වටයෙන් පිරිහෙයි. ආලෝකයෙන් පිරිහෙයි. උස මහතින් පිරිහෙයි. ශාරීපුත්‍රය, එසේම කුශල ධර්‍මයන්හි යම් කිසිවෙකුට ශ්‍රද්‍ධාවක් නැද්ද, ලජ්ජාවක් නැද්ද, බියක් නැද්ද, වීර්‍ය්‍යයක් නැද්ද, ප්‍රඥාවක් නැද්ද, ඕහට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමති විය යුතුය. වැඩීමක් නොවේ.

’’ ශාරීපුත්‍රය, අශ්‍රද්‍ධාවත් පුරුෂ පුද්ගලයාය යන මෙය පිරිහීමකි. ලජ්ජා නැති පුද්ගලයාය යන මෙය පිරිහීමකි. බිය නැති පුද්ගලයාය යන මෙය පිරිහීමකි. කම්මැලි, නුවණ නැති, ක්‍රොධ කරණ, බද්‍ධ වෛරය ඇති, ලාමක බලාපොරොත්තු ඇති, පාප මිත්‍රයන් ඇති, වැරදි දෘෂ්ඨි ඇති පුරුෂ පුද්ගලයාය යන මෙය පිරිහීමකි.

’’ ශාරීපුත්‍රය, යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇත්ද, (පවට) ලජ්ජාවක් ඇත්ද, පවට බියක් ඇත්ද, වීර්‍ය්‍යයක්, ප්‍රඥාවක් ඇත්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් ඒද, කුශල ධර්මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුතුය. පිරිහීමක් නොවේ. ශාරීපුත්‍රය, යම් සේ පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම්රෑ දවාලක් ඒද වැඩේමය. පාටින් වැඩෙයි. වටයෙන් වැඩෙයි. ආලෝකයෙන් වැඩෙයි. උස මහතින් වැඩෙයි. ශාරීපුත්‍රය, එසේම යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇද්ද (පවට) ලජ්ජාවක් ඇද්ද, (පවට) බියක් ඇද්ද, වීර්‍ය්‍යයක් ප්‍රඥාවක් ඇද්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්මයන්හි වැඩීමක්ම කැමති විය යුතුය. පිරිහිමක් නොවේ.

’’ ශාරීපුත්‍රය, ශ්‍රද්‍ධාවත් පුරුෂ පුද්ගලයාය යන මෙය නොපිරිහීමකි. ලජ්ජා ඇති, බිය ඇති, පටන්ගත් වීර්‍ය්‍යය ඇති, නුවණ ඇති, ක්‍රොධ නොකරණ, බද්‍ධ වෛර නැති, වැඩි බලාපොරොත්තු නැති, යහපත් මිතුරන් ඇති, සම්‍යක් දෘෂ්ඨික පුරුෂයාය යන මෙය, ඇවැත්නි, නොපිරිහීමකි.’’

විවරණ [0]