බරවීම්

පරිවර්තන [14]

තයො ධම්ම සූත්‍රය

’’මහණෙනි, මේ ධර්‍ම තුනක් ලොකයෙහි නොවන්නාහු නම් අර්හත් සම්‍යන් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි නූපදින්නාහුය. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍මය ලෝකයෙහි නොබබළන්නේය.

’’කවර තුනක්ද යත්? ඉපදීමද, ජරාවද, මරණයද යන තුනයි. මහණෙනි, මේ ධර්‍ම තුන ලොකයෙහි විද්‍යමාන නොවන්නාහු නම් අර්හත් සම්‍යන් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි නූපදින්නාහුය. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍මය ලෝකයෙහි නොබබළන්නේය. මහණෙනි, යම් හෙයකින් වනාහි මේ ධර්ම තුන ලෝකයෙහි විද්‍යමාන වෙත්ද, එසේ හෙයින් අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදිත්. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මය ලෝකයෙහි බබළයි.

’’මහණෙනි, ධර්ම තුනක් දුරු නොකර ඉපදීම දුරු කරන්නට, ජරාව දුරු කරන්නට, මරණය දුරු කරන්නට නොහැකිය.

’’කවර තුනක්ද යත්? රාගය දුරු නොකර, ද්වේෂය දුරු නොකර, මොහය දුරු නොකර යනුයි. මහණෙනි, මේ කරුණු තුන දුරු නොකර ඉපදීම දුරු කරන්නට, ජරාව දුරු කරන්නට, මරණය දුරු කරන්නට නොහැක. මහණෙනි, ධර්ම තුනක් දුරු නොකොට රාගය, ද්වේෂය, මෝහය දුරු කරන්නට නොහැකිය. සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස අත් නොහැර රාග, දොෂ මෝහ දුරු කළ නොහැක. නුනුවණින් මෙනෙහි කිරීම, නොමග යාම, සිතේ මැලි බව අත් නොහැර, සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස දුරු කළ නොහැක. මුළා සිහිය, මනාව නොදැනීම, සිතේ නොසන්සුන් බව අත් නොහැර, නුනුවණින් මෙනෙහි කිරීම, නොමග යාම, සිතේ මැලි බව දුරු කළ නොහැක. ආර්‍ය්‍යයන් දක්නට නොකැමැති බව, ආර්‍ය්‍ය ධර්මය අසන්ට නොකැමැති බව, දෝෂාරොපණ සිත අත් නොහැර, මුළා සිහිය, මනාව නොදැනීම, සිතේ නොසන්සුන්බව දුරුකළ නොහැක. සිතේ නොසන්සුන්කම, සංවර නැතිකම, දුසිල්බව අත් නොහැර, ආර්‍ය්‍යයන් දක්නට නොකැමැති බව, ආර්‍ය්‍ය ධර්මය අසන්නට නොකැමැති බව, දෝෂාරොපණ සිත දුරුකළ නොහැක. අශ්‍රද්‍ධාව, නොදෙන සුළු බව, කුසීතකම අත්නොහැර, සිතේ නොසන්සුන්කම, සංවර නැතිකම, දුසිල්බව දුරුකළ නොහැක. නොසැලකිලිබව, නොකීකරුබව, පාප මිත්‍රයන් ඇතිබව දුරු නොකර, අශ්‍රද්‍ධාව, නොදෙන සුළු බව, කුසීතකම දුරුකළ නොහැක. පාපයට ලජ්ජා නැතිබව, භය නැති බව, ප්‍රමාදය අත් නොහැර, නොසැලකිල්ල, නොකීකරුබව, පාප මිත්‍රයන් ඇතිබව දුරුකළ නොහැක.

’’මහණෙනි, පාපයට ලජ්ජා නැති, භය නැති, මේ තෙමේ ප්‍රමාදවූයේ වේ. හෙතෙම ප්‍රමාදවූයේම නොසැලකිල්ල, නොකීකරුකම, පාප මිත්‍රයන් ඇතිබව දුරු කරන්නට නුසුදුසුය.

’’හෙතෙම පාප මිත්‍රයන් ඇත්තේ, අශ්‍රද්‍ධාව, නොදෙන සුළු බව, කුසීතකම දුරුකළ නොහැක. හෙතෙම කුසීත වූයේ, සිතේ නොසන්සුන්බව, අසංවරය, දුස්සීලබව දුරුකළ නොහැක. හෙතෙම දුස්සීල වූයේ, ආර්‍ය්‍යයන් නොදකිනු කැමැත්ත, ආර්‍ය්‍ය ධර්මය ඇසීමට නොකැමැත්ත, දෝෂාරොපණ සිත දුරුකළ නොහැක. හෙතෙමෙ දෝෂාරෝපණ සිත් ඇත්තේ, මුළා සිහිය, මනාව නොදැනීම, සිතේ අවුල දුරුකළ නොහැක. හෙතෙම සිතේ අවුල් ඇත්තේ, නුවණින් මෙනෙහි නොකිරීම, වැරදි මාර්‍ග සේවනය, සිතේ මැළිබව දුරුකළ නොහැක. හෙතෙම සිතේ මැළිබව ඇත්තේ. ආත්ම දෘෂ්ටිය, සැකය, අන්‍යශීල ව්‍රතයන් ගැනීම දුරුකළ නොහැක. හෙතෙම සැක ඇත්තේ, රාගය දුරු කරන්නට, ද්වේෂය දුරු කරන්නට, මොහය දුරු කරන්නට නුසුදුසුය. රාගය දුරු නොකොට, ද්වේෂය දුරු නොකොට, මොහය දුරු නොකොට, ජාතිය දුරු කරන්නට, ජරාව දුරු කරන්නට, මරණය දුරු කරන්නට නුසුදුසුය. රාගය, ද්වේෂය, මොහය දුරු නොකර, ජාති, ජරා, මරණ දුරු කළ නොහැක.

’’මහණෙනි, ධර්ම තුනක් අත්හැර, ජාති, ජරා, මරණ දුරුකිරීමට සුදුසුය. කවර තුනක්ද යත්? රාගය අත්හැර, ද්වේෂය අත්හැර, මොහය අත්හැරය. මහණෙනි, මේ ධර්ම තුන අත්හැර, ජාති, ජරා, මරණ දුරු කිරීමට සුදුසුය. ( මෙසේ මුලින් දැක්වූ කොටස් සියල්ලෙහිම ’’නුසුදුසුය’’ යන්නට ’’සුදුසුය’’ කියා යොදාගත යුතුය. )

’’මහණෙනි, පාපයට ලජ්ජා ඇති, භය ඇති, මේ තෙමේ ප්‍රමාද නුවූයේ වේද, අප්‍රමාදවූ හෙතෙමේ නොසැලකිල්ල, නොකීකරුබව, පාප මිත්‍රයන් ඇති බව දුරු කරන්ට සුදුසුය. ( මෙසේ මුලින් දැක්වූ කොටසෙහි මෙන් මෙහිද ’’නුසුදුසුය’’ යන්නට ’’සුදුසුය’’ කියා යොදාගත යුතුය. )

විවරණ [0]