බරවීම්

පරිවර්තන [14]

ආසිවිසොපම සූත්‍රය

’’මහණෙනි, මේ ආශිර්විෂයෝ (සර්‍පයෝ) සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, පැමිණි විෂ ඇති, ඝොර විෂ නැති සර්පයාය, ඝොර විෂ ඇති, පැමිණි විෂ නැති සර්පයාය. පැමිණි විෂද ඇති, දරුණු විෂද ඇති සර්පයාය, පැමිණි විෂද නැති, දරුණු විෂද නැති සර්පයාය. මහණෙනි, මේ සතර සර්පයෝය. මහණෙනි, එසේම සර්පයන්ට උපමා ඇති පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්,

’’වැදුන විෂ ඇති, දරුණු විෂ නැති පුද්ගලයාය, දරුණු විෂ ඇති, වැදුන නැති පුද්ගලයාය, වැදුන විෂද, දරුණු විෂද ඇති පුද්ගලයාය, වැදුන විසත්, දරුණු විසත් නැති පුද්ගලයාය යන සතර දෙනය. මහණෙනි, පැමිණි විෂ ඇති, දරුණු විෂ නැති පුද්ගලයා කවරේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වහා කිපෙයිද, ඒ ක්‍රෝධය බොහෝ වේලාවක් නොපවතීද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම පැමිණි විෂ ඇති, ඝෝර විෂ නැති පුද්ගලයාය. මහණෙනි, පැමිණි විෂ ඇති, දරුණු විෂ නැති සර්‍පයා යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි.

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම දරුණු විෂ ඇත්තේ වේද? පැමිණි විෂ නැත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වහා නොකිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කලක් පවතී. මහණෙනි, මෙබඳු පුදගල තෙම දරුණු විෂ ඇත්තේ වේ. පැමිණි විෂ නැත්තේ වේ. මහණෙනි, දරුණු විෂ ඇති, වැද්‍රනු විෂ නැති සර්‍පයා යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.

’’මහණෙනි, පැමිණි විෂද ඇති, දරුණු විෂද ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වහා කිපේද, ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කලක් පවතීද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම පැමිණි විෂ ඇත්තේද, දරුණු විෂ ඇත්තේද වේ. මහණෙනි, පැමිණි විෂද, දරුණු විෂද ඇති සර්‍පයා යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.

’’මහණෙනි, පුද්ගල තෙම කෙසේ පැමිණි විෂ නැත්තේ වේද, දරුණු විෂ නැත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වහා නොකිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ වේලාවක් නොපවතී. මහණෙනි, මෙසේ පුද්ගල තෙම පැමිණි විෂ නැත්තේද, දරුණු විෂ නැත්තේද වේ. මහණෙනි, පැමිණි විෂ නැති, දරුණු විෂ නැති, සර්පයෙකු යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි. මහණෙනි, මේ ආශිර්විෂයන්ට බඳු උපමා ඇති පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’

එකොලොස්වෙනි වළාහක වර්‍ගය නිමි

විවරණ [0]