එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවර ශාක්‍ය ජනපදයන්හි නිග්‍රොධාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි නිඝණ්ඨ ශ්‍රාවකයෙක්වූ, වප්ප ශාක්‍ය තෙමේ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි නිඝණ්ඨ ශ්‍රාවක වප්ප ශාක්‍යයාට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ,
’’වප්පය, මේ ලොකයෙහි කයින් සංවරවූයේ, වචනයෙන් සංවරවූයේ, සිතින් සංවරවූයේ, අවිද්‍යාවෙන් වෙන්වූයේ, විද්‍යාව ඉපදවූයේ වන්නේය. වප්පය, නුඹ යම් හේතුවකින් පුරුෂයා පරලොව දුක් විඳිය යුතු ආශ්‍රවයෝ ලුහු බඳනාහුද, ඒ කාරණය දන්නෙහිද?’’
’’ස්වාමීනි, මේ ලෝකයෙහි පෙර නොපැසුනු විපාක ඇති, පාප කර්‍මයක් කරණ ලද්දේ වේද, ඒ හේතුවෙන් පුරුෂයා කරා පරලොව දුක් විඳිය යුතු ආශ්‍රවයෝ ලුහු බඳනාහු වෙත්ද, ස්වාමීනි, මම ඒ කාරණය දනිමි.’’
නිඝණ්ඨ ශ්‍රාවකවූ වප්ප ශාක්‍යයා සමග මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේගේ මේ අවසන් නොවූ කථාව වූයේද, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලාවෙහි ඵල සමවතින් නැඟී සිටියේ, උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, පණවන ලද අස්නෙහි වැඩ සිටි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට, ’’මොග්ගල්ලානය, දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුද? තොප විසින් කවර අතුරු කථාවක් අවසන් නොවූ කථාව කරණ ලද්දාහුදැ’’ යි ඇසූ සේක.
’’ස්වාමීනි, දැන් මම නිඝණ්ඨ ශ්‍රාවකවූ, වප්ප ශාක්‍යයාට, ’වප්පය, මේ ලොකයෙහි කයින් සංවරවූයේ, වචනයෙන් සංවරවූයේ, සිතින් සංවරවූයේ, අවිද්‍යාවෙන් වෙන්වූයේ, විද්‍යාව ඉපදවූයේ වන්නේය. වප්පය, නුඹ යම් හේතුවකින් පුරුෂයා පරලොව දුක් විඳිය යුතු ආශ්‍රවයෝ ලුහු බඳනාහුද, ඒ කාරණය දන්නෙහිද?’
’’මෙසේ කී කල්හි, ස්වාමීනි, නිඝණ්ඨ ශ්‍රාවකවූ, වප්ප ශාක්‍ය තෙම, ’ස්වාමීනි, මේ ලෝකයෙහි පෙර නොපැසුනු විපාක ඇති, පාප කර්‍මයක් කරණ ලද්දේ වේද, ඒ හේතුවෙන් පුරුෂයා කරා පරලොව දුක් විඳිය යුතු ආශ්‍රවයෝ ලුහු බඳනාහු වෙත්ද, ස්වාමීනි, මම ඒ කාරණය දනිමි.’
’’ස්වාමීනි, නිඝණ්ඨ ශ්‍රාවකවූ, වප්ප සමග මේ කථාව අවසන් නොවූවක් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සේකැ’’ යි කීයේය. ඉක්බිති, නිඝණ්ඨ ශ්‍රාවකවූ, වප්ප ශාක්‍යයාට, භාග්‍යවතුන් වහන්සේ, ’’වප්පය, ඉදින් ඔබ මට යම් කියන ලද්දකගේ අර්ත්‍ථය නොදන්නෙහි නම් මත්තෙහි මගෙන් ප්‍රශ්ණ කරව. අනුදැනිය යුත්තක් අනුදන්නෙහිය. ආක්‍රොශ කටයුත්තක් ආක්‍රොශ කරන්නෙහිය.’’ ’’ස්වාමීනි, ’මෙය කෙසේද, මෙහි තේරුම කුමක්දැ’ යි අපගේ කථා සල්ලාපයක් මෙහි වන්නේය’’ යි වදාළ සේක.
’ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේට අනුදැනිය යුත්තක් අනුදනිමි. ප්‍රතික්‍ෂෙප කළ යුත්තක් ප්‍රතික්‍ෂෙප කරමි. භාග්‍යවතුන් වහන්සේගේ යම් භාසිතයක අර්ත්‍ථයක් නොදන්නෙම්ද, ’ස්වාමීනි, මෙය කෙසේද, මෙහි අර්ත්‍ථය කවරේදැ’යි භාග්‍යවතුන් වහන්සේම විචාරමි. මෙහි අපගේ කථා සල්ලාපයක් වේවා.’’
’’වප්පය, ඒ කුමකැයි හඟින්නෙහිද? කාය කර්ම ප්‍රත්‍යයෙන් දුක් හා දැවීම් ඇති, යම් ආශ්‍රව කෙනෙක් උපදිත්ද, කාය කර්මයෙන් වෙන්වූවහුට මෙසේ දුක් හා දැවීම් ඇති ආශ්‍රවයෝ නොවෙත්.
’’හෙතෙම, ’අළුත් කර්මයක් නොකරයි. පරණ කර්‍මය ස්පර්‍ශකර කෙළවර කරයි. තමා විසින්ම දැක්කයුතු කල් නොයවා විපාක දෙන, එව, බලව’ යන විධියට සුදුසු, තමා කෙරෙහි ලා දතයුතු, ඤාණවන්තයන් විසින් අධ්‍යාත්මයෙහි ලා කෙලෙස් දිරවන ප්‍රතිපදාව දතයුත්තාහ.
’’වප්පය. නුඹ යම් හේතුවකින් පුරුෂයා කරා මෙලොව දුක් වේදනා ඇති ආශ්‍රවයෝ ලුහුබඳනාහුද, ඒ කාරණය දක්නාහුද?’’ ’’ස්වාමීනි, නොදකිමි.’’ ’’වප්පය, ඒ කුමකැයි හඟින්නෙහිද, වාක් කර්මය ප්‍රත්‍යය වීමෙන් දුක හා දැවීම් ඇති යම් ආශ්‍රව කෙනෙක් උපදීද, වාක් කර්මයෙන් වෙන්වූවහුට දුක හා දැවීම් ඇති ඒ ආශ්‍රවයෝ නොවෙත්. හෙතෙම, ’අළුත් කර්මයක් නොකරයි. පරණ කර්‍මය ස්පර්‍ශකර කෙළවර කරයි. තමා විසින්ම දැක්කයුතු කල් නොයවා විපාක දෙන, එව, බලව’ යන විධියට සුදුසු, තමා කෙරෙහි ලා දතයුතු, ඤාණවන්තයන් විසින් අධ්‍යාත්මයෙහි ලා කෙලෙස් දිරවන ප්‍රතිපදාව දතයුත්තාහ.
’’වප්පය, යම් හේතුවකින් පුරුෂයා කරා දුක් වේදනා ඇති ආශ්‍රවයෝ මෙලොව ලුහු බඳනාහුද, ඒ කාරණය දක්නාහුද?’’ ’’ස්වාමීනි, නැත.’’
’’වප්පය, ඒ කුමකැයි හඟින්නෙහිද, මනඃ කර්ම ප්‍රත්‍යයෙන් දුක හා දැවීම් ඇති යම් ආශ්‍රව කෙනෙක් උපදිත්ද, මනඃ කර්මයෙන් වැලැක්කාහට දුක හා දැවීම් ඇතිකරණ ඒ ආශ්‍රවයෝ නොවෙත්. හෙතෙම, ’අළුත් කර්මයක් නොකරයි. පරණ කර්‍මය ස්පර්‍ශකර කෙළවර කරයි. තමා විසින්ම දැක්කයුතු කල් නොයවා විපාක දෙන, එව, බලව’ යන විධියට සුදුසු, තමා කෙරෙහි ලා දතයුතු, ඤාණවන්තයන් විසින් අධ්‍යාත්මයෙහි ලා කෙලෙස් දිරවන ප්‍රතිපදාව දතයුත්තාහ.
’’වප්පය, යම් හේතුවකින් පුරුෂයා කරා මෙලොව දුක් වේදනා ඇති ආශ්‍රවයන් ලුහුබඳනාහුද, ඒ කාරණය ඔබ දක්නහුද?’’ ’’නැත, ස්වාමීනි.’’
’’වප්පය, ඒ කුමකැයි හඟින්නෙහිද, අවිද්‍යා ප්‍රත්‍යයෙන් දුක හා දැවීම් ඇති යම් ආශ්‍රව කෙනෙක් උපදිත්ද, විද්‍යාව පහළවීමෙන් මෙසේ ඒ දුක හා දැවීම් ඇතිකරණ ආශ්‍රවයෝ නොවෙත්. හෙතෙම, ’අළුත් කර්මයක් නොකරයි. පරණ කර්‍මය ස්පර්‍ශකර කෙළවර කරයි. තමා විසින්ම දැක්කයුතු කල් නොයවා විපාක දෙන, එව, බලව’ යන විධියට සුදුසු, තමා කෙරෙහි ලා දතයුතු, ඤාණවන්තයන් විසින් අධ්‍යාත්මයෙහි ලා කෙලෙස් දිරවන ප්‍රතිපදාව දතයුත්තාහ.
’’වප්පය, යම් හේතුවකින් පුරුෂයා කරා මෙලොව දුක් විඳින්නාහු ආශ්‍රවයන් ලුහුබඳනාහුද, ඒ කාරණය දක්නාහුද?’’ ’’නැත, ස්වාමීනි.’’
’’වප්පය, මෙසේ කාරණ සහිතව මනාකොට කෙලෙසුන්ගෙන් මිදුනු භික්‍ෂුවට නිබද්‍ධ විහරණ සයක් ලබන ලද්දාහු වෙත්. හෙතෙම ඇසින් රූපයක් දැක,
’’සතුටු වූයේ හෝ සතුටු නොවූයේ හෝ නොවේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, ඒ ආරම්මණයන්හි මධ්‍යස්ථව වසයි.
’’කණින් ශබ්දයක් අසා සතුටු වූයේ හෝ සතුටු නොවූයේ හෝ නොවේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, ඒ ආරම්මණයන්හි මධ්‍යස්ථව වසයි. නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට සතුටු වූයේ හෝ සතුටු නොවූයේ හෝ නොවේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, ඒ ආරම්මණයන්හි මධ්‍යස්ථව වසයි. දිවෙන් රසයක් විඳ, සතුටු වූයේ හෝ සතුටු නොවූයේ හෝ නොවේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, ඒ ආරම්මණයන්හි මධ්‍යස්ථව වසයි. කයින් ස්පර්‍ශයක් ස්පර්‍ශකොට සතුටු වූයේ හෝ සතුටු නොවූයේ හෝ නොවේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, ඒ ආරම්මණයන්හි මධ්‍යස්ථව වසයි. සිතින් ධර්‍මයක් දැන, සතුටු වූයේ හෝ සතුටු නොවූයේ හෝ නොවේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, ඒ ආරම්මණයන්හි මධ්‍යස්ථව වසයි. කය තිබෙන තුරු වේදනාවක් විඳින්නේ, කය තිබෙනතුරු වේදනා විඳිමියි දනියි. දිවි තිබෙන තුරු වේදනාවක් විඳින්නේ, දිවි තිබෙනතුරු වේදනා විඳිමියි දනියි. කය බිඳීමෙන් ජීවිතක්‍ෂයෙන් පෙර, මෙහිම සියලු වේදනාවන් සතුටුවූවාහු, නොපැවැත්මට ගියාහු යයි දනියි.
’’වප්පය, මෙසේ ගස නිසා සෙවන පවතීද, ඉක්බිති උදැල්ලක් ගෙන පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ මාලුවා වැල මුලින් සිඳින්නේය. මුලින් සිඳ හාත්පස හාරන්නේය. හාත්පස හාරා අන්තිම වශයෙන් සැවැන්ද මුල් තරම් මුල්ද උදුරන්නේය. හෙතෙම ඒ මාලුවා වැල කඩ කඩ කොට සිඳින්නේය. කඩ කඩ කොට සිඳ පලන්නේය. පලා තීරු තීරු ඉරන්නේය. තීරු තීරු ඉරා අව්වෙයි වියලන්නේය. අව්වෙහි වියලා ගින්නෙන් දවන්නේය. ගින්නෙන් දවා අළු කරන්නේය. අළු කොට මහා වාතයෙහි හෝ ගසා හරින්නේය. ශීඝ්‍ර ජල පාර ඇති ගඟක හෝ පාකර හරින්නේය.
’’වප්පය, මෙසේ වනාහි ගස නිසා යම් ඡායාවක් වීද, ඒ ඡායාව මුලින් සිඳින ලදී. මුල් හෝ කරටිය සිඳි තල් ගසක් මෙන් කරණ ලදී. අභාවයට යවන ලදී. මත්තෙමි නූපදින තත්ත්‍වයට පත් කරණ ලදී.
’’වප්පය, එසේම මෙසේ මනාව කෙලෙසුන්ගෙන් මිදුන භික්‍ෂුව විසින් අත්නොහළ වියරණ සයක් ලබන ලද්දාහු වෙත්. හෙතෙම ඇසින් රූපයක් දැක,
’’සතුටු නොවූයේ වේ. නොසතුටු නොවූයේ වේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, උපෙක්‍ෂාවෙන් වසයි.
’’කණින් ශබ්දයක් අසා සතුටු නොවූයේ වේ. නොසතුටු නොවූයේ වේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, උපෙක්‍ෂාවෙන් වසයි. නාසයෙන් සුවඳක් ආඝ්‍රාණය කොට සතුටු නොවූයේ වේ. නොසතුටු නොවූයේ වේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, උපෙක්‍ෂාවෙන් වසයි. දිවෙන් රසයක් අනුභව කොට සතුටු නොවූයේ වේ. නොසතුටු නොවූයේ වේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, උපෙක්‍ෂාවෙන් වසයි. කයින් ස්පර්‍ශයක් විඳ සතුටු නොවූයේ වේ. නොසතුටු නොවූයේ වේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, උපෙක්‍ෂාවෙන් වසයි. සිතින් ධර්‍මයක් දැන, සතුටු නොවන්නේ වේ. නොසතුටුද නොවන්නේ වේ. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, හෙතෙම ශරීරය හිමිකොට වේදනාව විඳින්නේ ශරීරය හිමිකොට වේදනාව විඳිමියි දනියි. ජීවිතය හිමිකොට වේදනාව විඳින්නේ ජීවිතය හිමිකොට වේදනාව විඳිමියි දනී. ශරීරයාගේ බිඳීමෙන් ජීවිතක්‍ෂයට පෙර මෙහිම සියලු වේදනාවන් සතුටුවන ලද්දාහු, සිහිල් වූවාහුයයි දනී.’’
’’මෙසේ කී කල්හි, නිඝණ්ඨ ශ්‍රාවකවූ වප්ප ශාක්‍ය තෙම, භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, යම් සේ පුරුෂ තෙම අභිවෘද්‍ධිය බලාපොරොත්තුවන්නේ අශ්ව රංචුවක් පෝෂ්‍යය කරන්නේය. හෙතෙම දියුණුවක්ද නොලබන්නේය. මත්තෙහිද ක්ලාන්තයට, දුකට භාජනය වන්නේය. ස්වාමීනි, එසේම මම දියුණුව බලාපොරොත්තුවෙන් මෝඩවූ නිඝණ්ඨයන් ආශ්‍රය කළෙමි. ඒ මම දියුණුවටද නොපැමිණියෙමි. මත්තෙහි ක්ලාන්තයට, දුකට පැමුණුනෙමි. ස්වාමීනි, ඒ මම අද සිට බාල නිඝණ්ඨයන් කෙරෙහි මගේ යම් පැහැදීමක් වීද, එය මහා වාතයෙහි පිඹ හරිමි. නදියක සැඩපහරක හෝ පාකර හරිමි.
’’ භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’
විවරණ [0]