ඉක්බිති සිඛාමොග්ගල්ලාන බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි සිඛාමොග්ගල්ලාන බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට, ’’භවත් ගෞතමයන් වහන්ස, පෙර දිනවල, එයටත් පෙර දිනවල සොණකායන මාණවක තෙම, මා යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ, මට, ’ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සියලු කර්‍මයන්ගේ නොකිරීම පණවයි. සියලු කර්‍මයන්ගේ නොකිරීම කියමින් ලෝකයාගේ විනාශය කීයේය. පින්වත්නි, මේ ලෝකය කර්‍මය ස්වභාවකොට ඇත්තේය. කර්‍ම රැස් කරමින්ම සිටීය’යි කීයේය’’ යි ප්‍රකාශ කෙළේය.
’බමුණ. මම සොණකායන මාණවකයා දුටු බවක්වත් නොදනිමි. මෙබඳු කථා සල්ලාපයක් කොහිද? බමුණ, මා විසින් විශිෂ්ට ඥාණයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දක්වන ලද්දාවූ කර්ම සතරක් වෙත්.
’’බමුණ, මේ කර්‍ම සතරක් මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දන්වනු ලැබේ. කවර සතරක්ද යත්, අකුශල්වූ අකුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. කුශල්වූ කුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. බමුණ, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාක ඇත්තාවූද, කුශල විපාක ඇත්තාවූද, කර්මයන් ඇත්තේය. බමුණ, අකුශල් නුවූ, කුශල් නොවූ, අකුශල විපාක නොවූ, කුශල විපාක නොවූ කර්මයක් කර්මක්‍ෂය පිණිස පවතී.
’’බමුණ, අකුශල්වූ, අකුසල විපාකය ඇති කර්මය කවරේද?
’’ බමුණ , මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ සහිත කාය චේතනා රැස් කරයි. ද්වේෂ සහිත වාක් චේතනා රැස් කරයි. ද්වේෂ සහිත මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වේෂ සහිත කාය චේතනා රැස් කර, ද්වේෂ සහිත වාක් චේතනා රැස් කර, ද්වේෂ සහිත මනො චේතනා රැස් කර, දුක් සහිත ලෝකයක උපදී.
’’දුක් සහිත ලෝකයක උපන්නේම, දුක් සහිත ස්පර්‍ශයෝ ස්පර්‍ශ කරත්. හෙතෙම දුක් සහිත ස්පර්‍ශ වලින් ස්පර්‍ශ කරණ ලද්දේ, නරකයෙහි සත්ත්‍වයන් යම් සේද, එසේ ආබාධ සහිත විපාක වේදනාවක් විඳියි. බමුණ, මේ කර්මය අකුශල්ය, අකුශල විපාකය.
’’ බමුණ, කුශල්වූ, කුශල් විපාකවූ කර්මය කවරේද? බමුණ, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ රහිත කාය චේතනා රැස් කරයි. ද්වේෂ රහිත වාක් චේතනා රැස් කරයි. ද්වේෂ රහිත මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වේෂ රහිත කාය චේතනා රැස් කර, ද්වේෂ රහිත වාක් චේතනා රැස් කර, ද්වේෂ රහිත මනො චේතනා රැස් කර, සුභකිණ්ණක දෙවියන් යම් සේද, එබඳු දුක් නැති ලෝකයක උපදී.
’’දුක් නැති ලෝකයක උපන් ඔහු කරා, දුක් නැති ස්පර්‍ශයෝ ස්පර්‍ශ කරත්. හෙතෙම නිදුක් ස්පර්‍ශයන්ගෙන් ස්පර්‍ශ කරණ ලද්දේම, නිදුක් වේදනාවක් විඳියි. බමුණ, මේ කුශල්වූ, කුශල විපාකවූ කර්‍මයයි කියනු ලැබේ.
’’ බමුණ, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාකවූද, කුශල විපාකවූද, කර්මය කවරේද? බමුණ, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ සහිතවූද, ද්වේශ රහිතවූද, කාය චේතනා රැස් කරයි. ද්වේෂ සහිතවූද, ද්වේශ රහිතවූද, වාක් චේතනා රැස් කරයි. ද්වේෂ සහිතවූද, ද්වේශ රහිතවූද, මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වෙෂ සහිතවූද, ද්වේශ රහිතවූද, කාය චේතනා රැස් කර. ද්වෙෂ සහිතවූද, ද්වේශ රහිතවූද, වාක් චේතනා රැස් කර. ද්වෙෂ සහිතවූද, ද්වේශ රහිතවූද, මනො චේතනා රැස් කර. දුක් සහිතවූද, දුක් රහිතවූද, ලෝකයෙහි උපදී. දුක් සහිතවූද, දුක් රහිතවූද, ලෝකයක උපන්නේම, දුක් සහිතවූද, දුක් රහිතවූද, ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරත්. හෙතෙම දුක් සහිතවූද, දුක් රහිතවූද, ස්පර්‍ශයන්ගෙන් ස්පර්‍ශ වූයේම, දුක් සහිතවූද, දුක් රහිතවූද, මිශ්‍රවූ සැප දුක් ඇති මනුෂ්‍යන් මෙන්ද, ඇතැම් කාමාවචර දෙවියන් මෙන්ද, ඇතැම් වෛමානික ප්‍රේතයන් මෙන්ද, වේදනාවක් විඳියි. බමුණ, මේ අකුශල් හා කුශල්වූද, අකුශල් හා කුශල් විපාක ඇත්තාවූද, කර්මයයි කියනු ලැබේ.
’’ බමුණ, අකුශල් නොවූත්, කුශල් නොවූත්, අකුශල විපාකත් නොවූ, කුශල විපාකත් නොවූ, කර්මක්‍ෂය පිණිස පවත්නා කර්මය කවරේද? බමුණ, එහි යම් මේ කර්මයක් අකුශල්ද, අකුශල විපාක ඇත්තේද, ඔහුගේ ප්‍රහාණය පිණිස යම් චේතනාවක් වේද, යම් මේ කර්මයක් කුශල්ද, කුශල විපාකද, ඔහුගේ ප්‍රහාණය පිණිස යම් චේතනාවක් වේද, යම් කර්‍මයක් අකුශල්ද, අකුශල කුශල විපාකද, ඔවුන්ගේ ප්‍රහාණය පිණිස සම් චේතනාවක් ඇත්තේද, බමුණ, මේ කර්‍මය කුශල් නොවේ. අකුශල් නොවේ. පවුත් නොවන, පිනුත් නොවන විපාක ඇත්තේ වේ. කර්‍මක්‍ෂය පිණිස පවතී. මහණෙනි, මේ කර්‍ම සතර මා විසින් මාම විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට දක්වන ලද්දාහ.’’
විවරණ [0]