ඉක්බිති එක්තරා දිව්‍ය පුත්‍රයෙක් මධ්‍යම රාත්‍රිය ඉක්මවූ කල්හි, යහපත් වර්ණයෙන් යුක්තව, මුළු ජේතවනාරාමය බබුළුවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, කරුණු සයක් මහණහුගේ නොපිරිහීම පිණිස පවතිත්ය’’ යි කීයේය. ’’ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවය, ධර්මයට ගෞරවය, සංඝයාට ගෞරවය, ශික්ෂාවට ගෞරවය, සුවච බව, යහපත් මිත්‍රයන් ඇති බව, යන සයයි. ස්වාමීනි, මේ කරුණු සය මහණහට නොපිරිහීම පිණිස පවතිත්.’’ ඒ දේවතාවා මෙසේ කීය. ’’ශාස්තෲන් වහන්සේ පිළිගත් සේක.’’ ඉක්බිති ඒ දේවතාවා ’’ශාස්තෲන් වහන්සේ මාගේ වචන පිළිගත් සේකැ’’ යි ශාස්තෲන් වහන්සේ වැඳ, පැදකුණුකොට, එහිම අතුරුදහන් විය.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්ෂූන්ට කථා තළ සේක. ’’මහණෙනි, මේ රාත්‍රියෙහි එක්තරා දේවතාවෙක් මධ්‍යම රාත්‍රිය ඉක්මවූ කල්හි යහපත් වර්ණයෙන් යුක්තව, මුළු ජේතවනාරාමය ආලෝක කොට මා යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, මා වැඳ. එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා මට, ’’ස්වාමීනි, කරුණු සයක් මහණහුගේ නොපිරිහීම පිණිස පවතිත්ය’’ යි කීයේය. ’’ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවය, ධර්මයට ගෞරවය, සංඝයාට ගෞරවය, ශික්ෂාවට ගෞරවය, සුවච බව, යහපත් මිත්‍රයන් ඇති බව, යන සයයි. ස්වාමීනි, මේ කරුණු සය මහණහට නොපිරිහීම පිණිස පවතිත්.’’ ඒ දේවතාවා මෙසේ කීය. ’’ශාස්තෲන් වහන්සේ පිළිගත් සේක.’’ ඉක්බිති ඒ දේවතාවා ’’ශාස්තෲන් වහන්සේ මාගේ වචන පිළිගත් සේකැ’’ යි මා වැඳ, පැදකුණුකොට, එහිම අතුරුදහන් විය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ලුහුඬින් වදාරණ ලද දෙය මෙහි මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දනිමි.
’’ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කරන්නේ වේද, ශාස්තෲන් වහන්සේට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
’’ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද ධර්මය කෙරෙහි ගරු කරන්නේ වේද, ධර්මයට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ධර්මය කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ධර්මය කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
’’ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද සංඝයා කෙරෙහි ගරු කරන්නේ වේද, සංඝයාට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද සංඝයා කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් සංඝයා කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
’’ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද ශික්ෂාවෙහි ගරු කරන්නේ වේද, ශික්ෂාවෙහි ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ශික්ෂාවෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ශික්ෂාවෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ශික්ෂාවෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
’’ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද කීකරු වේද, කීකරුවීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් කීකරු නැත්තේ වේද, ඔවුන්ද කීකරු වීමෙහි යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් කීකරු වේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
’’ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද යහපත් මිත්‍රයන් ඇත්තේ වේද, යහපත් මිත්‍රයන් ඇසුරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් යහපත් මිත්‍රයන් නැත්තේ වේද, ඔවුන්ද යහපත් මිත්‍රයන් ඇසුරෙහි යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් යහපත් මිත්‍රයන් ඇත්තේ වේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ලුහුඬින් වදාරණ ලද මෙහි මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දනිමි.’’
’’ශාරීපුත්‍රය, යහපත, යහපත, ශාරීපුත්‍රය, ඔබ මා විසින් විසින් ලුහුඬින් වදාරණ ලද මෙය මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දන්නෙහිය.
’’ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම, තමන්ද ශාස්තෲන් වහන්සේ විෂයෙහි ගරු කරන්නේ වේද, ශාස්තෲන් වහන්සේට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
’’ශාරීපුත්‍රය, යහපත, යහපත, ශාරීපුත්‍රය, ඔබ මා විසින් විසින් ලුහුඬින් වදාරණ ලද මෙය මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දන්නෙහිය.
’’ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම, තමන්ද ධර්මය විෂයෙහි ගරු කරන්නේ වේද, ධර්මයට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ධර්මය කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ධර්මය කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
’’ශාරීපුත්‍රය, යහපත, යහපත, ශාරීපුත්‍රය, ඔබ මා විසින් විසින් ලුහුඬින් වදාරණ ලද මෙය මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දන්නෙහිය.
’’ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම, තමන්ද සංඝයා විෂයෙහි ගරු කරන්නේ වේද, සංඝයාට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද සංඝයා කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් සංඝයා කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
’’ශාරීපුත්‍රය, යහපත, යහපත, ශාරීපුත්‍රය, ඔබ මා විසින් විසින් ලුහුඬින් වදාරණ ලද මෙය මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දන්නෙහිය.
’’ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම, තමන්ද ශික්ෂාව විෂයෙහි ගරු කරන්නේ වේද, ශික්ෂාවට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ශික්ෂාව කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ශික්ෂාව කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
’’ශාරීපුත්‍රය, යහපත, යහපත, ශාරීපුත්‍රය, ඔබ මා විසින් විසින් ලුහුඬින් වදාරණ ලද මෙය මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දන්නෙහිය.
’’ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම, තමන්ද කීකරුවේද, කීකරුවීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් කීකරු නැත්තේ වේද, ඔවුන්ද කීකරුවීම කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් කීකරුවීමෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
’’ශාරීපුත්‍රය, යහපත, යහපත, ශාරීපුත්‍රය, ඔබ මා විසින් විසින් ලුහුඬින් වදාරණ ලද මෙය මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දන්නෙහිය.
’’ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම, තමන්ද යහපත් මිත්‍රයන් ඇත්තේ වේද, යහපත් මිත්‍රයන් ඇසුරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් යහපත් මිත්‍රයන් නැත්තේ වේද, ඔවුන්ද යහපත් මිත්‍රයන් ඇතිබව කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් යහපත් මිත්‍රයන් ඇතිබව කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
විවරණ [0]