බරවීම්

පරිවර්තන [15]

මහා මෙඝොපම සූත්‍රය

’’මහණෙනි, කුලයෙක්හි සත්පුරුෂයෙක් උපදින්නේ නම්, බොහෝ ජනයාට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. මවු පියන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. අඹු දරුවන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. දාස කම්කරු පුරුෂයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. මිත්‍රාමාත්‍යයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. පෙර මළ ගිය නෑයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. රජහට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. දෙවියන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි.

’’මහණෙනි, යම් සේ වනාහි මහා මේඝය තෙම සියලු ශෂ්‍යයන් සමෘද්‍ධ කරමින් බොහෝ දෙනාට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වේද, එපරිද්දෙන්ම වනාහි කුලයෙක්හි සත්පුරුෂයෙක් උපදින්නේ නම්, බොහෝ ජනයාට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. මවු පියන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. අඹු දරුවන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. දාස කම්කරු පුරුෂයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. මිත්‍රාමාත්‍යයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. පෙර මළ ගිය නෑයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. රජහට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. දෙවියන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස වෙයි.

(1) ’’ගිහිගෙයි වසන්නාවූ පණ්ඩිත පුරුෂ තෙම ඒකාන්තයෙන් බොහෝ දෙනාගේ හිත පිණිස, සැප පිණිස, (පිළිපන්නේ වේද), පළමුකොට දිවාරෑ දෙක්හි නොමැලිව මව්පියන් තමහට පළමු කළ උපකාර සිහි කරමින් (ආහාර, පාන, වස්ත්‍රාභරණාදී) ප්‍රත්‍යයෙන් පූජා කෙරේද, අනගාරිය සංඛ්‍යාත මේ ශාසනයෙහි පැවිදිවූ, බ්‍රහ්මචාරීවූ, පියශීලී භික්‍ෂූන්ට, ධර්‍මය දැන, ශ්‍රද්‍ධාවෙන් යුක්තවූයේ පූජා කෙරේද, රජහට හිතවත් වූයේ, දෙවියන්ට හිතවත් වූයේ, නෑයන්ටද, මිතුරන්ටද හිතවත් වූයේ වේද, හෙතෙම සද්‍ධර්‍මයෙහි යහපත්ව පිහිටියේ, සියල්ලන්ට හිතවත් වූයේ වේද, හෙතෙම මසුරු මළ දුරුකොට ශාන්තවූ (දෙව්) ලොව භජනය කරන්නේය. (දෙව්ලොව උපදී.)’’

විවරණ [0]