(14-1)
“යමෙක් අතීතය ප්‍රකාශ කෙරේද?” යන්නෙහි “යමෙක්” යනු තමාම දැනගත් ආචාර්යවරයෙකු නැති, යම් ඒ භාග්‍යවතුන් වහන්සේ පෙර නොඇසූ ධර්මයන්හි තෙමේම සත්‍යයන් අවබොධකළ සේක්ද? එහිද සර්වඥ භාවයට පැමිණියේ ඵලයන්හි වසඟ බවට පැමිණියේද යනුයි. අතීතය ප්‍රකාශ කෙරෙයි යනු භාග්‍යවතුන් වහන්සේ තමාගේද අනුන්ගේද අතීතයද ප්‍රකාශ කරයි. අනාගතයද ප්‍රකාශ කරයි. පවත්නා කාලයද ප්‍රකාශ කරයි.
කෙසේ භාග්‍යවතුන් වහන්සේ අතීතය ප්‍රකාශ කෙරේද? භාග්‍යවතුන් වහන්සේ තමාගේ අතීතය (ii) එක් ජාතියක් ප්‍රකාශ කරයි. ජාති දෙකක් ප්‍රකාශ කරයි. ජාති තුනක්, ජාති හතරක්, ජාති පහක්, (5 සිට 10 දක්වා) සම්පූර්ණ කර ගත යුතුයි.) ජාති දසයක් ජාති විස්සක් ජාති තිහක් ජාති හතළිහක් ජාති පණහක් (මෙහි 50 සිට 100 දක්වා සම්පූර්ණකරගත යුතුයි.) ජාති සියයක් ජාති දාහක් ජාති ලක්ෂයක්, නොයෙක් සංවර්ත කල්පයන්, නොයෙක් විතර්ක කල්පයන්, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්, අසවල් තැන විසීමි. මෙසේ නම් ඇත්තෙක් වීමි. මෙසේ ගොත්‍ර ඇත්තෙක් වීමි. මෙසේ වර්ණ ඇත්තේ මෙසේ ආහාර ඇත්තේ මෙසේ සුවදුක් විඳින්නේ මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තේ හෙතෙම එයින් චුතව අසවල් තැන උපන්නේ වෙයි. මෙසේ නම් ඇත්තේ මෙබඳු ගොත්‍ර ඇත්තේ, මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ මෙසේ සුවදුක් විඳින්නේ මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තේ වෙයි. හෙතෙම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙයි. (iii) මෙසේ ආකාර සහිත දැක්වීම සහිත නොයෙක් ආකාර පූර්වෙනිවාසය ප්‍රකාශ කරයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමාගේ අතීතය ප්‍රකාශ කරයි.
කෙසේ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ අතීතය ප්‍රකාශ කෙරේද? භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ අතීතය (මෙහි 2 (ii) යොදාගත යුතුයි.) මෙසේ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ අතීතය ප්‍රකාශ කරයි. භාග්‍යවතුන් වහන්සේ ජාතක පන්සියයක් දෙශනා කරන්නේ තමාගේද අනුන්ගේද අතීතය ප්‍රකාශ කරයි.
“මහා පදානීය” සූත්‍රාන්තය දෙශනා කරන්නේ (ii) තමන්ගේද අනුන්ගේද අතීතය ප්‍රකාශ කරයි. (iii) “මහාසුදස්සන” සූත්‍රය ප්‍රකාශ කරන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) ‘මහාගොවින්ද’ සූත්‍රාන්තය දෙශනා කරන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි.) මාඝ දෙවිය සූත්‍රාන්තය දෙශනා කරන්නේ (මෙහි (ii) යොදාගත යුතුයි) මෙය භාග්‍යවතුන් වහන්සේ දෙශනා කරණ ලදී.
“චුන්දය අතීත කාලය අරභයා තථාගතයන් වහන්සේගේ යම් විඤ්ඤාණයක් වේද, උන්වහන්සේ යම් පමණ බලාපොරොත්තු වේද එපමණ සිහි කරයි. චුන්දය, අනාගතයද අරබයා වර්තමානයද අරබයා තථාගතයන් වහන්සේට බොධිඥානය උපදියි. මේ අන්තිම ජාතියයි. දැන් නැවත උත්පත්තියක් නැත. යනුයි. ඉන්ද්‍රිය පරොපරියත්ත ඥානය තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි. සත්වයන්ගේ ආසයානූසය ඥානය තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි. යමක පාටිහාර ඥානය තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි. සබ්බඤ්ඤුත ඥානය තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි. අනාවරණ ඥානය තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි. සියලු තන්හි අපගම ප්‍රතිහත අනාවරණ ඥානය තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමාගේද අනුන්ගේද අතීතය ප්‍රකාශ කරයි. අනාගතය මනාව ප්‍රකාශ කරයි. පවත්නා කාලය ප්‍රකාශ කරයි. කියයි, දෙශනා කරයි, පනවයි. තබයි, විවෘත කරයි, බෙදයි, ප්‍රකට කරයි, ප්‍රකාශ කරයි යනුයි.
“ඵජා නැත්තේ සිඳුන සැකය ඇත්තේ” යන්නෙහි ඵජා නම් තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, අභිධ්‍යාවක් ලොභයක් අකුශලමූලයක් ඇද්ද, මේ ඵජා නම් තෘෂ්ණාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රහීනය මුලින් සින්ඳේය. අගසිඳි තල්ගසක් මෙන් කරණ ලද්දේය. සම්පූර්ණ අභාවයට පමුණුවන ලදී. නැවත නූපදනා බවට පමුණුවන ලදී. එබැවින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනෙජ නම් වන සේක. තෘෂ්ණාවෙන් නොහොත් කම්පාවෙන් ප්‍රහීන බැවින් අනෙජ නම් වනසේක.
භාග්‍යවතුන් වහන්සේ ලාභයෙහිද කම්පා නොවෙයි. (3-1) 1 ‘ලාභයෙහිද’ යන තැන සිට යොදාගත යුතුයි.) දුකෙහිද කම්පා නොවෙයි. නොසෙලවෙයි. සිඳින ලද සැකය ඇති යන්නෙහි සැකය යනු විචිකිච්ඡාවට කියයි. දුකෙහි සැක කරයි ( (4-11) 5 යොදාගත යුතුයි.) ඒ සැකය භාග්‍යවත් බුදුන්ගේ සිඳුනේය. විශෙෂයෙන් සිඳුනේය. සන්සිඳුනේය. ඉපදීමට අයොග්‍ය වූයේය. ඥානය නැමැති ගින්නෙන් දැවුනේය. එහෙයින් බුදුරජ තෙම සිඳින ලද සැක ඇත්තේවේ. සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය යන්නෙහි විශිෂ්ට ඥානයෙන් පරතෙරට ගිය සේක. මනා දැනීමෙන් පරතෙරට ගිය සේක. ප්‍රහානයෙන් පරතෙරට ගිය සේක. ප්‍රත්‍යක්ෂ කිරීමෙන් පරතෙරට ගිය සේක. සමාපත්තියෙන් පරතෙරට ගිය සේක, යනුයි. ප්‍රශ්න කිරීම පිණිස පැමිණියේ වෙමි. යනු ප්‍රශ්න කැමැත්තෙන් පැමිණියේ වෙමි. (3-1) 5 ‘ප්‍රශ්න කිරීමේ’ යන තැන සිට යොදාගත යුතුයි) එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම කීයේය.
(14-2)
“ප්‍රකටවූ රූප සංඥා ඇත්තහුට” යන්නෙහි රූප සංඥාව කවරීද? රූපාවචර සමාපත්තියට සමවැදුනහුට හෝ උපන්නහුට හෝ මෙලොව සුඛ විහරණ ඇත්තහුට හෝ සංඥාවක් හැඳිනීමක් හැඳිනීම් බවක් ඇද්ද, මේ රූප සංඥාවයි ප්‍රකට රූප සංඥා ඇත්තහුට යනු සතර අරූප සමාපත්තීන් ලද්දාහුට රූප සංඥාවෝ ප්‍රකට වූවාහු වෙත්. වඩන ලද්දාහු වෙත්, ඉක්මවූවාහු වෙත් යනුයි. සියලු කායයන් ප්‍රහීනවූවහුට යනු සියලු ප්‍රතිසන්ධිකවූ රූප කය ප්‍රහීනවූ අවිෂ්කම්භන ප්‍රහානයෙන් ප්‍රහීනවූ ඔහුගේ රූප කය යනුයි.
“කිසිවක් නැතැයි බලන්නාවූ” යනු ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියයි, කවර කරුණකින් කිසිවක් නැතැයි කියද්ද? ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සිහි ඇතිව සමවැද සිහි ඇතිව නැගිට ඒ විඤ්ඤාණයම දුරු කරයි. අතුරුදහන් කරයි, කිසිවක් නැතැයි බලයි. ඒ කාරණයෙන් කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට කියයි.
“ශාක්‍යයන් වහන්සේගෙන් ඥානය විචාරමි. යන්නෙහි ‘ශාක්‍යයන් වහන්සේගෙන්’ යනු භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය නම් වන සේක. ශාක්‍ය කුලයෙන් පැවිදි වූයේනුයි ශාක්‍ය නමි. ප්‍රහීන කළ බිය හා බියට හේතු දේ ඇත්තේ පහවූ ලොමු ඩැහැගැනීම් ඇත්තේනුයි ශාක්‍ය නමි. ශාක්‍යයන් වහන්සේගෙන් ඥානය විචාරමි. යනු උන්වහන්සේගෙන් ඥානය විචාරමි. ප්‍රශ්න විචාරමි. කෙබඳුද කවරාකාරද? කවර ප්‍රකාරද? යනුයි.
“එබඳුවූ නෙය්‍යය හෙවත් දතයුතුදේ කෙසේද? යනු එය පැමිණ විය යුතුය. හික්මිය යුතුය, පැනවිය යුතුය. බැලිය යුතුය, පැහැදිය යුතුය, එයින් මත්තෙහි ඥානය කෙසේ ඉපදිය යුතුද? යනුයි. ‘එබඳුවූ’ යනු එවැනිවූ එබඳු සටහන් ඇති එවැනි ප්‍රකාර ඇති යම් ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියයි යනුයි. එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම මෙසේ කීය.
(14-3)
“සියලු විඤ්ඤාණස්ථතීන් යනු භාග්‍යවතුන් වහන්සේ අභිසංස්කාර වශයෙන් සතර විඤ්ඤාණස්ථිතීන් දනියි. කෙසේ භාග්‍යවතුන් වහන්සේ අභිසංස්කාර වශයෙන් සතර විඤ්ඤාණස්ථිතීන් දනීද? මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනාකරණලදී” මහණෙනි, ඉදින් රූපූපාය (ii) විඤ්ඤාණය සිටිනු ලබන්නේ සිටියි. රූපාරම්මනය රූපප්‍රතිෂ්ඨාව වැඩීම් බවට විපුලත්වයට පැමිණෙයි. (iii) මහණෙනි, ඉදින් වෙදනූපාය හෝ (මෙහි (ii) යෙදිය යුතුයි.) මහණෙනි, ඉදින් සංඛාරූපාය හෝ විඤ්ඤාණය සිටිනු ලබන්නේ සිටියි. සංඛාරාරම්මනය සංඛාර ප්‍රතිෂ්ඨාව වෘද්ධියට මහත් බවට විපුලත්වයට පැමිණෙයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අභිසංස්කාර වශයෙන් සතර විඤ්ඤාණස්ථිතීන් දනියි.
“කෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිසන්ධි වශයෙන් සතර විඤ්ඤාණස්ථිතීන් දනීද? මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මහණෙනි, නානත්තකාය නානත්ත සඤ්ඤීනම් සත්වයෝ ඇත්තාහ. යම්කිසි මනුෂ්‍යයෝද ඇතැම් දෙවියෝද ඇතැම් විනිපාතිකයෝදවෙති. මේ ප්‍රථම විඤ්ඤාණස්ථිතියයි. මහණෙනි, නානත්තකාය එකත්තසඤ්ඤීවූ සත්වයෝ ඇත්තාහ. යම්කිසි පළමුව පහළවූ බ්‍රහ්මකායික දෙවියෝවෙයිද, මේ දෙවෙනි විඤ්ඤාණස්ථිතියයි. මහණෙනි, එකත්තකායනම්වූද නානත්ත සඤ්ඤීනම්වූද සත්වයෝ ඇත්තාහ. යම්කිසි ආභස්සර දෙවියෝ වෙති. මේ තුන්වන විඤ්ඤාණස්ථිතියයි මහණෙනි, ඒකත්තකායනම්වූද ඒකත්ත සඤ්ඤීනම්වූද සත්වයෝ ඇත්තාහ. යම්කිසි සුභකිණ්ණක දෙවියෝවෙති. මේ සතරවන විඤ්ඤාණස්ථිතියයි. මහණෙනි, සර්වප්‍රකාරයෙන් රූපසංඥාව ඉක්මවා ප්‍රතිඝසංඥාව අස්තයට පමුණුවා නානත්තසංඥාවන් සිහිනොකොට ආකාශය අන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණියාහුද, මේ පස්වන විඤ්ඤාණස්ථිතියයි සර්වප්‍රකාරයෙන් ආකාශනඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාහුද, මේ සවන විඤ්ඤාණස්ථිතියයි සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාහුද මේ සත්වන විඤ්ඤාණස්ථිතියයි මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිසන්ධි වශයෙන් සප්තවිඤ්ඤාණස්ථිතීන් දනියි.
“තථාගතතෙම දැනගන්නේ” යනු දැනගන්නේ අවබොධකරන්නේ යනුයි. මෙය භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශකළහ. චුන්දය. භාග්‍යවතුන් වහන්සේ විසින් අතීතවූද නොවූද නොවැසුනාවූද අනාත්මසඤ්ඤාවූද යමක්වේද එය තථාගතතෙම ප්‍රකාශ නොකරයි. චුන්දය, අතීතවූද (ii) සිදුවූද වැසුනාවූද අනාත්මසඤ්ඤා ඇත්තේද එයද තථාගතතෙම ප්‍රකාශ නොකරයි. (iii) චුන්දය, අතීතවූද සිදුවූද (iv) වැසුනාවූද අර්ථයෙන් යුක්තයමක් ඇද්ද, ඒ ප්‍රශ්න විසඳීම පිණිස එයට තථාගතතෙම කාලය දන්නේවෙයි.
“චුන්දය අනාගතවූද (මෙහි 3 (ii) යෙදියයුතුයි.) චුන්දය අනාගතවූද සිදුනුවූද (මෙහි 3 (iv) යෙදිය යුතුයි.)
“චුන්දය, පවත්නා කාලයෙහිවූද නොවූ නොවැසුන අනර්ථය ගෙනදෙන යමක් ඇද්ද, එය තථාගතතෙම ප්‍රකාශ නොකරයි. චුන්දය, පවත්නා කාලයෙහිවූද සිදුවූ වැසුන අනර්ථය ගෙනදෙන යමක්වේද? එයද තථාගතතෙම ප්‍රකාශ නොකරයි. චුන්දය, පවත්නා කාලයෙහිවූද සිදුවූ වැසුන අර්ථයෙන් යුක්ත යමක්වේද ඒ ප්‍රශ්න විසඳීම පිණිස තථාගත තෙම කාලය දන්නේවෙයි. චුන්දය, මෙසේ වනාහී අතීත අනාගත පවත්නා යන කාලයන්ට අයත් ධර්මයන්හි තථාගත තෙම කාලවාදීවූයේ භූතවාදීවූයේ, අර්ථවාදීවූයේ ධර්මවාදී වූයේ විනයවාදී වූයේ වෙයි. එහෙයින් තථාගතයයි කියයි. ‘චුන්දය යම් හෙයකින් දෙවියන් සහිත ලොකයාගේ මරුන් සහිත බඹුන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවගේ දැකී ඇසූ, ස්පර්ශ කළ, දැනගත්, පැමිණි, සොයනලද සියල්ල සිතින් අවබොධ කරණලදී. එහෙයින් තථාගතයයි කියයි.
“චුන්දය යම් රාත්‍රියක තථාගතතෙම නිරුත්තරවූ සම්‍යක් සම්බොධියට පැමිණේද, යම් රාත්‍රියක නිරුපධිශෙෂ නිර්වාණධාතුවෙන් පිරිනිවේද මේ අතර යමක් කියාද දෙශනා කෙරේද, ඒ සියල්ල එසේමවෙයි. අන්පරිද්දෙකින් නොවෙයි. එහෙයින් තථාගතයයි කියයි. “චුන්දය, තථාගත තෙම යම්සේ කියන්නේද, එසේ කරන්නේවෙයි. යම්සේ කරන්නේද එසේ කියන්නේවෙයි. මෙසේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදීසේක. එහෙයින් තථාගතයයි කියයි.
“චුන්දය, දෙවියන් සහිත ලොකයෙහි මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි තථාගත තෙම මැඩ පැවතුනසේක. අන්‍යයාට මැඩිය නොහැකිසේක. අන්‍යයා වශයෙහි පවත්වනසේක. එහෙයින් තථාගතයයි කියයි.
“සිටින්නේ මෙය දනියි” යනු භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු නපුරු ගති ඇති නපුරුසේ වැටෙන සැපයෙන් පහවූ නරකයෙහි උපදින්නේයයි කම්මාභිසංඛාර වශයෙන් මෙලොවම කරුණු දනියි. භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදින්නේ යයි කම්මාභි සංඛාර වශයෙන් මෙලොවම කරුණු දනියි. මේ පුද්ගලතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු ප්‍රේත විෂයෙහි උපදින්නේයයි කම්මාභි සංඛාර වශයෙන් මෙලොවම කරුණු දනියි. මේ පුද්ගලතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු මිනිසුන් අතරෙහි උපදින්නේයයි කම්මාභි සංඛාර වශයෙන් මෙලොවම දනියි. මෙසේ පිළිපන් පුද්ගලතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිනම්වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේයයි කම්මාභි සංඛාර වශයෙන් දනියි.
“භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දෙශනා කරණ ලදී. (ii) ‘ශාරීපුත්‍රය, එක්තරා පුද්ගලයකු ගැන මේ පුද්ගල තෙම මෙසේ පිළිපන්නේ මෙසේ පවතියි. මේ මාර්ගයට බැසි තැනැත්තේ යම්සේ (iii) කායයාගේ බිඳීමෙන් මරණින් මතු නපුරුගති ඇති නපුරුසේ වැටෙන සැපයෙන් තොර නරකයෙහි උපදින්නේ යයි මෙසේ සිතින් සිත පිරිසිඳ ඇතිවීම දනිමි ශාරිපුත්‍රය. මම එක්තරා පුද්ගලයකු ගැන මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගලතෙම එසේ පිළිපන්නේ එසේ ඉරියව් පවත්වයි. ඒ මාර්ගයට බැස ගත්තේ කායයාගේ බිඳීමෙන් මරණින් මතු (vi) තිරිසන් යොනියෙහි උපදින්නේයයි භාග්‍යවතුන් වහන්සේ දනියි. (මෙහි (ii) (iii) යෙදිය යුතුයි.) ප්‍රේත විෂයෙහි උපදින්නේ යයි දනියි. (මෙහි (i) (iv) යෙදිය යුතුයි.) මිනිසුන් අතරෙහි උපදින්නේයයි දනියි. (මෙහි (ii) යෙදිය යුතුයි.) කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලොකයෙහි උපදින්නේයයි දනියි. (මෙහි (ii) ඡෙදය යෙදිය යුතුයි.) ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියටද ප්‍රඥා විමුක්තියටද මෙලොවම තෙමේ මනා කොට දැන ප්‍රත්‍යක්ෂකොට එයට පැමිණ වාසය කරයි, යන මේ කාරණය දනියි. අවිමුක්තිය යනු ආකිඤ්චඤ්ඤායතනයයි අවිමුක්ත යනු එය අධිපතිකොට ඇත්තේ අවිමුක්තියයි, නැවතද භාග්‍යවතුන් වහන්සේ දනියි. මේ පුද්ගලතෙම රූපයෙන්. (මිදුනේය) ශබ්දයෙන් මිදුනේය, ගන්ධයෙන් මිදුනේය. රසයෙන් මිදුනේය, ස්පර්ශයෙන් මිදුනේය, කථාවෙන් මිදුනේය, ගණයාගෙන් මිදුනේය, ආවාසයෙන් මිදුනේය, ලාභයෙන් මිදුනේය. කීර්තියෙන් මිදුනේය, ප්‍රශංසාවෙන් මිදුනේය, සැපතින් මිදුනේය, සිවුරෙන් මිදුනේය, පිණ්ඩපාතයෙන් මිදුනේය, සේනාසනයෙන් මිදුනේය, ගිලන්පස බෙහෙත් පිරිකරින් මිදුනේය, සූත්‍රාන්තයෙන් මිදුනේය, විනයෙන් මිදුනේය, අභිධර්මයෙන් මිදුනේය, ආරඤ්ඤිකාංගයෙන් මිදුනේය. පිණ්ඩපාතිකාංගයෙන් මිදුනේය, පාංශුකූලිකාංගයෙන් මිදුනේය, තෙචීවරිකාංගයෙන් සපදානචාරිකාංගයෙන්, ඛලුපච්ඡාභක්තිකාංගයෙන්, නෙසජ්ජිකාංගයෙන්, යථාසන්තතිකාංගයෙන්, ප්‍රථම ධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයෙන්, තෘතියධ්‍යානයෙන්, චතුර්ථ ධ්‍යානයෙන්, ආකාශානඤ්චායතන සමාපත්තියෙන්, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන්, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන්, නෙවසඤ්ඤනාසඤ්ඤායතන සමාපත්තියෙන් මිදුනේ යනුයි. විමුක්තිය එය පරායනයකොට ඇත්තේය යනු ආකිඤ්චඤ්ඤායතනමයවූ එය පරායනකොට ඇත්තේය (iv) කර්මය පරායනකොට ඇත්තේය, විපාක පරායන කොට ඇත්තේය. කර්ම ගරුකොට ඇත්තේය. ප්‍රතිසන්ධි ගරුකොට ඇත්තේය. නැවතද භාග්‍යවතුන් වහන්සේ දනියි. මේ පුද්ගලතෙම රූපය පරායනකොට ඇත්තේය. (මෙහි (iv) යෙදියයුතුයි.) නෙවසඤ්ඤානාසඤ්ඤා සමාපත්ති පරායනවූයේය යනුයි.)
එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
(14-4)
“ආකිඤ්චඤ්ඤායතනය උපදවන කර්මය දැන” යනු ආකිඤ්චඤ්ඤායතනයට හෙතුවූ කර්මාභිසංස්කාරයට කියයි. එය ආකිංචඤඤ්ඤායතන හෙතුව යයි දැන එල්බීම යයි දැන බන්ධනයයි දැන පලිබොධයයි දැන, සමකොට බලා තීරණය කොට ප්‍රකට කොට යනුයි.
“නන්දි සංයෝජනයයි මෙසේ දැන” යනු නන්දි සංයෝජනයයි අරූප රාගයට කියයි. රූප රාගයෙන් ඒ කර්මයෙහි එල්බුනේය. අරූප රාගය නන්දි සංයෝජනයයි දැන එල්බීම යයි දැන බන්ධනයයි දැන පලිබොධය යයි දැන සම කොට බලා තීරණය කොට ප්‍රකට කොට යනුයි. “ඉති” (මෙසේ) යනු පද සන්ධියයි, පද ගැලපීමයි. පද පිරවීමයි අකුරු සම්පූර්ණ කිරීමයි. වචන සිළුටු කිරීමයි. පද පිළිවෙළ දැක්වීමයි. “මේ කාරණය මෙසේ දැන” යනු මෙසේ මෙය දැන, සමකොට බලා තීරණය කොට ප්‍රකට කොට යනුයි.
“ඉක්බිත්තෙන් එහි විශෙෂයෙන් බලයි” යන්නෙහි එහි යනු ආකිංචඤ්ඤායතනයට සමවැද එයින් නැගිට එහි උපන් චිත්ත චෛතසික ධර්මයන් අනිත්‍ය වශයෙන් බලයි, දුක් වශයෙන් බලයි, රෝග වශයෙන් බලයි (1-8) 3 රෝග වශයෙන් යන තැන සිට යෙදිය යුතුයි.) නිශ්ශරණ වශයෙන් බලයි. දකියි, පරීක්ෂා කරයි.
“මේ ඥානය සත්‍යය යනු මේ ඥානය සත්‍යය, වූ පරිදිය අවිපරීතය, යනුයි. බ්‍රාහ්මණ යනු ධර්ම සතක් බැහැර කළ බැවින් බ්‍රාහ්මණ නමි. (මහා නිද්දෙශයේ (4-3) 1 යෙදිය යුතුයි.) කෙලෙස් ඇසුරු නොකළ අටලෝ දහමින් කම්පා නොවන බැවින් තාදී නම්වූ හෙතෙම බ්‍රහ්ම නමි. වැස නිමවූ යනු කල්‍යාණ පෘථග්ජනයාගේ පටන් සප්ත ශෛක්ෂයෝ නොපැමිණි දෙයෙහි පැමිණීම පිණිස නොලැබූ දෙය ලැබීම පිණිස ප්‍රත්‍යක්ෂ නොකළ දෙය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වාසය කෙරෙත්. රහතන් වහන්සේ වැස නිමවූ වස් ඇත්තේය, කළ කටයුතු ඇත්තේය. බහා තැබූ බර ඇත්තේය, පැමිණි යහපත ඇත්තේය, ක්ෂය කළ භව සංයෝජනයන් ඇත්තේය, විමුක්තිය මනාසේ දත්සේක. හෙතෙම විසූ වාස ඇත්තේය, පුරුදු කළ ගමන් ඇත්තේ (මහා නිද්දෙසයේ (3-7) 6 (ii) යෙදිය යුතුයි.) ජාති මරණ සංසාරයක් පුනර්භවයක් නැත, යනුයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළහ. ගාථාවගේ කෙළවර සමගම (1-8) 6 යෙදිය යුතුයි.)
පොසාලමාණවපුච්ඡානිද්දෙසො චුද්දසමො.
විවරණ [0]