(12 - 1)
“ස්වකීය ස්වකීය දෘෂ්ටිය ගෙන වසන්නේ යනු” දෘෂ්ටිය ගත්තාවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු දෙසැට දෘෂ්ටි ගැනීම් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් ගෙන පරාමර්ශකොට බැසගෙන ස්වකීය ස්වකීය දෘෂ්ටියෙන් වසත්. (ii) ගිහියෝ යම්සේ ගෙදරක වසත්ද, ඇවැත් ඇත්තෝ ඇවතෙහි වෙසෙත්ද, කෙලෙස් ඇත්තෝ කෙලෙස්හි වෙසෙත්ද, එපරිද්දෙන්ම දෘෂ්ටිය ගත්තාවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු (iii) දෙසැට දෘෂ්ටි ගැණීම් වලින් එක්තරා දෘෂ්ටියක් ගෙන ඉගෙණ පරාමර්ශකොට බැසගෙන ස්වකීය ස්වකීය දෘෂ්ටියෙන් වසත්.
“එසේ ගෙන නොයෙක් දක්ෂ වාදයෝ කියත්” යන්නෙහි එසේ ගෙන යනු ගෙන, ඉගෙණ පරාමර්ශකොට බැස ගෙන යනුයි. නොයෙක් දේ කියත් යනු විවිධදේ කියත්. එකිනෙක කියත්. බොහෝ කියත්. එකක් නොකියත්. දක්ෂ වාදයෝ යනු දක්ෂ (i) වාදයෝ පණ්ඩිත වාදයෝ ස්ථිර වාදයෝ න්‍යාය වාදයෝ හේතුවාදයෝ ලක්ෂණ වාදයෝ කාරණ වාදයෝ ස්ථාන වාදයෝ ස්වකීය ලබ්ධියෙන් යනුයි. මෙසේ දනීද හෙතෙම ධර්මය දනියි යනු යමෙක් මේ ධර්මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්ගය දනීද, හෙතෙම ධර්මය දනියි. අවබොධ කරයි යනුයි.
“හෙතෙම අසමර්ථවූයේ මේ ධර්මයට ආපසු බණියි” යනු යමෙක් මේ ධර්මයට දෘෂ්ටියට ප්‍රතිපදාවට මාර්ගයට බණීද, ‘අසමර්ථවූ හෙතෙම’ යනු පරිපූර්ණ නොවූ හෙතෙම හීනවූ, නිහීනවූ, ලාමකවූ යනුයි.
(12 - 2)
“මෙසේ ගෙන විවාද කරත්” යනු මෙසේ ගෙන ඉගෙණ පරාමර්ශකොට බැසගෙන විවාද කරත්, කලහ කරත්, ඩබර කරත්, ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය ( (9-8) 1 (ii) යෙදිය යුතුයි.) ඉදින් හැකිනම් අවුල හරුව යනුයි. “ඒකාන්තයෙන් බාලතෙම අදක්ෂය” යනු ඒකාන්තයෙන් බාලතෙම හීනය, නිහීනය, ලාමකය, අදක්ෂය, අවිචාරය, අවිද්‍යාව ගත්තේය, අඥානය, අප්‍රකටය, මෝඩයයි මෙසේ කියත්. මෙසේ ප්‍රකාශ කරත්.
“මොවුන්ගේ සත්‍යවූ වාදය කවරේද” යනු මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වාදය කවරක් සත්‍යද ඇති තත්වය ඇත්තේද, විපරීත නොවූයේද යනුයි. මේ සියල්ලෝම දක්ෂවාද ඇත්තෝයි” යනු මේ සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දක්ෂ වාද ඇත්තෝයි පණ්ඩිත වාද ඇත්තෝයි, ස්ථිරවාද ඇත්තෝයි, න්‍යායවාද ඇත්තෝයි, හේතුවාද ඇත්තෝයි, ලක්ෂණවාද ඇත්තෝයි, කාරණවාද ඇත්තෝයි, ස්ථානවාද ඇත්තෝයි ස්වකීය ලබ්ධියෙන් යනුයි
(12 - 3)
“ඉදින් අනුන්ගේ ධර්මයට නොකැමැති වෙත්” යනු අනුන්ගේ ධර්මයට දෘෂ්ටියට ප්‍රතිපදාවට මාර්ගයට නොකැමැති වන්නේ එය නොබලන්නේ එය අනුමත නොකරන්නේ එය අනුමෝදන් නොවන්නේ යනුයි.
“නිහීන ප්‍රඥා ඇති බාලයා මෝඩවෙයි” යනු අතිශයින් මෝඩවෙයි. හීනවෙයි, නිහීන වෙයි, හීන ප්‍රඥා ඇත්තේ වෙයි. නිහීන ප්‍රඥා ඇත්තේ වෙයි. ලාමක ප්‍රඥා ඇත්තේ වෙයි යනුයි.
“සියලුම බාලයෝ ඉතා හීන නුවණ ඇත්තෝය” යනු සියලුම මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බාලයෝය, හීනයෝය. නිහීනයෝය, ලාමකයෝය. සියල්ලෝම හීන ප්‍රඥා ඇත්තෝය, නිහීන ප්‍රඥා ඇත්තෝය, ලාමක ප්‍රඥා ඇත්තෝය, ස්වල්ප ප්‍රඥා ඇත්තෝය යනුයි.
“මේ සියල්ලෝම දෘෂ්ටිගතිකයෝයි” යනු මේ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දෘෂ්ටිගතිකයෝයි, ඔවුහු දෙසැට දෘෂ්ටි ගැනීම් අතුරෙන් එක් එක්තරා දෘෂ්ටිගැනීමක් ගෙන ඉගෙණ පරාමර්ශකොට බැස ස්වකීය ස්වකීය දෘෂ්ටියෙන් වසත්. යම්සේ ගිහියෝ ගෙවල්වල වසත්ද, ඇවැත් ඇත්තෝ ඇවැත්හි වසත්ද, කෙලෙස් ඇත්තෝ ක්ලේශයන්හි වසත්ද, මෙසේම මේ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දෘෂ්ටි ගතිකයෝ වූවාහු ( (12-1) 1 (iii) ඡෙදය යෙදිය යුතුයි)
(12 - 4)
“ස්වකීය දෘෂ්ටියෙන්ද අපිරිසිදුවූවාහ” යනු ස්වකීය දෘෂ්ටියෙන්, ස්වකීය කැමැත්තෙන්, ස්වකීය රුචියෙන්, ස්වකීය ලබ්ධියෙන්, අපිරිසිදුවූවාහු, කිලුටුවූවාහු යනුයි. “පිරිසිදු නුවණැති දක්ෂවූ පණ්ඩිතයෝ” යනු පිරිසිදු නුවණැති බබලන නුවණැති යනුයි. යලිදු හෝ පිරිසිදු දැකීම් ඇති පිරිසිදු නුවණැත්තේ යනුයි. “සංසුද්ධි පඤ්ඤ” යයි පාලි භාෂාවෙන් කියත්. කුසල යනු පණ්ඩිතයෝ, ප්‍රඥාවන්තයෝ බුද්ධිවන්තයෝ ඥානය ඇත්තෝ නුවණැත්තෝනුයි සංසුද්ධ පඤ්ඤ කුසලයයි කියත්. “නුවණැත්තෝ” යනුද පණ්ඩිතයෝ ප්‍රඥාවන්තයෝ, බුද්ධිවන්තයෝ ඥානය ඇත්තෝ යනුයි. ‘ඔවුන්ගෙන් කිසිවෙක් හීන ප්‍රඥා ඇත්තේ නොවේ. ලාමක ප්‍රඥා ඇත්තේ නොවේ කුඩා ප්‍රඥා ඇත්තේ නොවේ. සියල්ලන්ටම ශ්‍රෙෂ්ඨ ප්‍රඥාව ඇත. ප්‍රමුඛ ප්‍රඥාව ඇත යනුයි
“ඔවුන්ගේද දෘෂ්ටිය එසේ ගන්නාලදී” යනු ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ දෘෂ්ටිය එසේ ගන්නාලදී. එසේ අවසන්වන ලදී. සමාදන්වන ලදී. ගන්නාලදී. පරාමර්ශ කරණලදී. බැස ගන්නාලදී. එසේ ඇලෙන ලදී. යනුයි.
(12 - 5)
“මම මෙය සත්‍යයයි නොකියමි” යන්නෙහි “නොයනු ප්‍රතික්ෂෙපයයි. මෙය යනු දෙසැට දෘෂ්ටි ග්‍රහණයෝයි. මම එය ඇත්තයයි අවිපරීතයයි නොකියමි. දෙශනා නොකරමි. නොපනවමි. නොතබමි විවෘත නොකරමි. නොබෙදමි. ප්‍රකාශ නොකරමි, යනුයි.
“බාලයෝ දෙදෙනෙක් ඔවුනොවුන් යමක් කියත්ද,” යන්නෙහි “අන්‍යොන්‍ය” යනු දෙදෙනෙක් යනුයි. කලහකරුවෝ දෙදෙනෙක් ඩබර කරුවෝ විවාද කරුවෝ දෙදෙනෙක් සාකච්ඡා කරන්නෝ දෙදෙනෙක් යනුයි. ඔවුහු බාල වශයෙන් හීන වශයෙන් නිහීන වශයෙන් ස්වල්ප වශයෙන් මෙසේ කියත්. මෙසේ ව්‍යවහාර කරත්. යනුයී.
“ස්වකීය ස්වකීය දෘෂ්ටිය සත්‍යයයි කීහ” යනු ලොකය ශාස්වතය. මෙයම සත්‍යය අනික හිස්යයි ස්වකීය ස්වකීය දෘෂ්ටිය සත්‍යයයි ප්‍රකාශ කළහ. ලොකය අශාස්වතය, මෙයම සත්‍යය අනික හිස්යයි ( (3-6) 1 (ii) ඡෙදය යෙදිය යුතුයි.) සත්වයා මරණින් මතු නොමවෙයි. නොම නොවෙයි මෙයම සත්‍යය අනික හිස්යයි ස්වකීය ස්වකීය දෘෂ්ටිය සත්‍යයයි ප්‍රකාශ කළහ යනුයි.
“එහෙයින් බාලයයි අන්‍යයාට කියත්” යනු එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන්, ඒ නිදානයෙන් අන්‍යයා බාල වශයෙන්, හීන වශයෙන්, නිහීන වශයෙන් ලාමක වශයෙන්, කුඩා වශයෙන් සිතත්.
(12 - 6)
“ඇතැම් කෙනෙක් සත්‍යයයි යමක් කියද්ද,” යනු යම් ධර්මයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්ගයක් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙය සත්‍යය, ඇත්තය, වූ පරිදිය, අවිපරීතයයි මෙසේ කියත්. මෙසේ ප්‍රකාශ කරත්. මෙසේ ව්‍යවහාර කරත්, යනුයී.
“අන්‍යයෝ එය මුසායයි කියත්” යනු ඒ ධර්මයම දෘෂ්ටියම ප්‍රතිපදාවම මාර්ගයම ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙය හිස්ය මෙය මුසාය, මෙය අභූතය, මෙය බොරුය, මෙය අන්පරිදියයි මෙසේ කියත්. මෙසේ ව්‍යවහාර කරත් යනුයි.
“මෙසේද ගෙන විවාද කරත්” යනු මෙසේ ගෙන ඉගෙණ පරාමර්ශකොට බැසගෙන විවාද කරත්. කළහ කරත් ඩබර කරත්, විග්‍රහ කරත්, විවාද කරත්, ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය, ඉදින් හැකිනම් අවුල ( (12-1) 1 (iii) ඡෙදය යෙදිය යුතුයි) හරුව යනුයි. “කුමක් හෙයින් ශ්‍රමණයෝ එකක් නොකියද්ද” යනු එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයයෙන් ඒ නිදානයෙන් එකක් නොකියත්ද, නොයෙක් දේ කියත්ද එකින් එක කියද්ද, බොහෝ දේ කියද්ද ව්‍යවහාර කරද්ද, යනුයි.
(12 - 7)
“ඇත්ත එකක්මය දෙවැන්නක් නැත” යනු සත්‍යය එකක්යයි කියයි ඒ දුක්ඛ නිරොධවූ නිර්වාණයයි. යම් ඒ සියලු සංස්කාරයන් සංසිඳවූ සියලු කෙළෙස් දුරුකළ තෘෂ්ණාව ක්ෂය කළ නොඇලීම ඇති නිරොධ නම් නිර්වාණ යයි යලිදු හෝ එකම සත්‍යයයි මාර්ගසත්‍යයට කියයි. නෛර්‍ය්‍යානික සත්‍යයයි දුක්ඛ නිරොධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි ඒ කෙසේද, (ii) සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යනුයි
“යමක් ප්‍රජාව දැන ගන්නේ විවාද නොකරත්ද” යනු යමක් යනු යම් කිසි සත්‍යයක් යනුයි. “ප්‍රජාව” යනු සත්වයන්ට නමකි. ප්‍රජාව යම් සත්‍යයක් දැන ගන්නාහු අවබොධ කරන්නාහු කලහ නොකරත්ද, විවාද නොකරද්ද ඩබර නොකරද්ද, කලහ, විග්‍රහ, විවාද ඩබරයන් දුරුකරන්නහුද සංසිඳවන්නාහුද, නොඉපදීම් බවට පමුණුවන්නහුද යනුයි.
“නොයෙක් නොයෙක් ඒ සත්‍යයෝ තෙමේ කියත් යනු නොයෙක් නොයෙක් ඒ සත්‍යයෝ තෙමේ කියත්. ව්‍යවහාර කරත්. ලොකය ශාස්වතය, මෙයම සත්‍යය අනික් දේ හිස්යයි තෙමේ කියත්, ප්‍රකාශ කරත්, ව්‍යවහාර කරත් යනුයි.
“එහෙයින් ශ්‍රමණයෝ එකක් නොකියත්” යනු එහෙයින් ඒකාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් එකක් නොකියත්. නොයෙක් දේ කියත්, විවිධ දේ කියත්, අනිකක් අනිකක් කියත්, බොහෝ කියත් ව්‍යවහාර කරත්.
(12 - 8)
කුමක් හෙයින් නොයෙක් දේ සත්‍යයයි කියද්ද යනු කුමක් හෙයින් කවර කරුණකින් කවර නිදානයකින් බොහෝ සත්‍යයෝ කියද්ද, නොයෙක් ආකාරයෙන් කියත්ද, එකින් එක කියත්ද යනුයි. කුශලවාදයෝ ප්‍රකාශ කරත් යනු විශෙෂයෙන් කියත් යනුද ප්‍රකාශ කරත් යනුයි. යලිදු හෝ තම තමාගේ දෘෂ්ටි ගැණීම් කියත් ප්‍රකාශ කරත් ව්‍යවහාර කරත්. ලොකය ශාස්වතය, මෙයම සත්‍යය, අනික් දේ හිස්යයි කියත්. ප්‍රකාශ කරත්, ලොකය ආශාස්වතය (මෙහි (3-6) 1 (ii) ඡෙදය යෙදිය යුතුයි) සත්වයා මරණින් මතුනොමවෙයි. නොම නොවෙයි, මෙයම සත්‍යය අනික් දේ හිස්යයි කියත්. ව්‍යවහාර කරත්. “ දක්ෂවාදයෝ යනු කුසල වාදයෝ දක්ෂවාදයෝ පණ්ඩිත වාදයෝ ස්ථිර වාදයෝ න්‍යායවාදයෝ හේතුවාදයෝ ලක්ෂණ වාදයෝ කාරණ වාදයෝ ස්ථානවාදයෝ යනුයි.
“බොහෝ වෙනස් සත්‍යයෝ අසන ලද්දාහ යනු නන් වැදෑරුම් අනික් අනික් බොහෝ සත්‍යයෝ අසන ලද්දාහ යනුයි. “නැතහොත් ඔවුහු තර්කය සිහි කරත්” යනු නැතහොත් තර්කයෙන් විතර්කයෙන් සංකල්පයෙන් යත්. පමුණුවත්, පාවෙත්, යනුයි. මෙසේද නැතහොත් ඔවුහු තර්කය සිහි කරත්, යලිදු හෝ ඔවුහු තර්කය සිහි කරත්, යලිදු හෝ තර්කයට යොග්‍යවූ විමසීම අනුව යන තමහට වැටහුන දේ කියත්, ව්‍යවහාර කරත්, යනුයි.
(12 - 9)
“බොහෝ නොයෙක් සත්‍යයෝ නැත්තාහුමය” යනු බොහෝවූ නන්වැදෑරුම්වූ අනික් අනික්වූ බොහෝවූ සත්‍යයෝ නැත්තාහුමය. “සංඥාවෙන් හැර ලොකයෙහි නිත්‍යයයි (ගැන්මක් කියයි) යනු සඤ්ඤාවෙන් හැර නිතර ගැණීම් ඇති එකම සත්‍යයක් ලොකයෙහි කියයි. ප්‍රකාශ කරයි. ව්‍යවහාර කරයි. දුක්ඛ නිරොධයවූ නිර්වාණයයි යම් ඒ සියලු සංස්කාරයන් සංසිඳවූ සියලු කෙලෙස් බැහැර කළ තෘෂ්ණාක්ෂය කළ ඇලීම නැති නිරොධය නම්වූ නිර්වාණයයි යලිදු හෝ එකම සත්‍යයක් කියයි. මාර්ග සත්‍යයයි නෛර්‍ය්‍යානික සත්‍යයයි. දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවයයි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි ඒ කෙසේද, ( (12-7) 1 (ii) ඡෙදය යෙදිය යුතුයි)
“දෘෂ්ටීන්හි තර්කයද කල්පනාකොට සත්‍යයද මුසාවදැයි ධර්ම දෙකක් කියත්” යනු තර්කයද විතර්කයද සංකල්පයද තර්කකොට විතර්කකොට කල්පනාකොට දෘෂ්ටි ගැනීම් ඇති කරත්, උපදවත්, පහළ කරත්, දෘෂ්ටි ගැනීම් ඇති කොට උපදවා පහළකොට මාගේ සත්‍යය ඔබගේ මුසාවයයි මෙසේ කියත්. මෙසේ ව්‍යවහාර කරත් යනුයි.
(12 - 10)
දැකි, ඇසූ දෙයෙහිද ශීලව්‍රතයන්හිද මුතයෙහිද යන මොවුන් නිසා මනාව නොපමුණුවයි යනු දැකීම හෝ දැකීමෙන්, ශුද්ධිය හෝ ඇසීම හෝ ඇසීමෙන් ශුද්ධිය හෝ ශීලය හෝ ශීල ශුද්ධිය හෝ ව්‍රතය හෝ ව්‍රත ශුද්ධිය හෝ මුතය හෝ මුත ශුද්ධිය හෝ නිසා ගෙන පරාමර්ශකොට බැස ගෙන යනුයි.
“මොවුන් නිසා මනාව නොපමුණුවයි” යනු මනාකොට නොපමුණුවයි. යලිදු හෝ දොම්නස උපදවන බැවින් හෝ විමාන දස්සීනමි.
“විනිශ්චයෙහි සිට සතුටුවන්නේ යනු” විනිශ්චය නම් දෙසැට දෘෂ්ටි ගැනීමයි. දෘෂ්ටි විනිශ්චයෙහි විනිශ්චය දෘෂ්ටියෙන් සිට පිහිටාගෙන පරාමර්ශකොට බැසගෙන විනිශ්චයෙහි සිට යනුයි. “සතුටු සිත් ඇත්තේ යනු සතුටු වෙයි. ප්‍රීතිවෙයි, සම්පූර්ණ සිතේ කල්පනා ඇතිවෙයි. යලිදු හෝ දත් විදහා සිනහවෙන්නේ යනුයි.
“බාලතෙමේ ඒකාන්තයෙන් අදක්ෂයයි කියති. යනු බාලතෙම ඒකාන්තයෙන් හීනය, නිහීනය, ලාමකය, කුඩාය, අදක්ෂය, අවිද්‍යාවට පැමිණියේය. අඥානය, අප්‍රකටය, මද නුවණැත්තේයයි මෙසේ කියයි. මෙසේ ප්‍රකාශ කරයි. මෙසේ ව්‍යවහාර කරයි යනුයි.
(12 - 11)
“යම්හෙයකින්ම බාලතෙම අතිශයින් බලයි” යනු යම්කිසි හේතුවකින් යම්කිසි ප්‍රත්‍යයකින් යම්කිසි කාරණයකින් යම්කිසි ඇතිවීමකින් අතිශයින් බාලවශයෙන්, හීන වශයෙන්, නිහීන වශයෙන්, ලාමක වශයෙන් දකියි, බලයි, කල්පනා කරයි යනුයි.
“එහෙයින් තමා දක්ෂයයිද කියයි. යන්නෙහි ‘තෙමේ, යනු තමා යන අර්ථයයි. හෙතෙමේද ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ කාරණයෙන් ඒ ප්‍රභවයෙන් තමන්ම මම දක්ෂවෙමි, පණ්ඩිත වෙමි. නුවණැතිවෙමියි යනුයි.
“හෙතෙම තෙමේ තමන්ම දක්ෂයයී කියන්නේ” යනු තෙමේම තමාට ස්වකීය දාෂ්ටීයෙහි දක්ෂ වාදය කියාගන්නේ පණ්ඩිත වාදය කියාගන්නේ ස්ථිරවාදය කියා ගන්නේ න්‍යාය වාදය කියාගන්නේ හේතුවාදය කියාගන්නේ ලක්ෂණ වාදය කියාගන්නේ කාරණ වාදය කියාගන්නේ විඥාන වාදය කියා ගන්නේ යනුයී
“අන්‍යයාට අවමන් කරයි. එයම කියයී” යනු බුහුමන් නොකරයී අන්‍යයාට අවමන් කරයි. යලිදු හෝ දොම්නස් උපදවයි. අන්‍යයාට අවමන් නොකරයි. එයම කියයි යනු එයම වේ ඒ දෘෂ්ටි ගැනීම කියයි. මේ පුද්ගලතෙම මිථ්‍යා දෘෂ්ටිකයෙකි. විපරීත දැකුම් ඇත්තෙකි යනුයි.
(12 - 12)
“හෙතෙම අතිසාර නම් දෘෂ්ටියෙන් සම්පූර්ණ වූවෙකු යනු අතිසාර දෘෂ්ටියයි දෙසැට දෘෂ්ටි ගැණීම් කියයි කවර කරුණකින් අතිසාර දෘෂ්ටිහුයයි දෙසැට දෘෂ්ටි ගැනීම්වලට කියද්ද, සියලු ඒ දෘෂ්ටීහු කාරණ ඉක්මවූවෝයි ලක්ෂණ ඉක්මවූවෝයී. ස්ථාන ඉක්මවූවෝයි එබැවින් දෙසැට දෘෂ්ටීන්ට අතිසාර දෘෂ්ටිහුයයි කියත්. සියලු දෘෂ්ටීහු අතිසාර දෘෂ්ටීහු වෙත්. කුමක් හෙයින් සියලු දෘෂ්ටීහු අතිසාර දෘෂ්ටීහුයයි කියත්ද? ඔවුහු එකින් එක ඉක්මවා ඈත්කොට දෘෂ්ටි ගැනීම් උපදවත්. ඇතිකරත්. එබැවින් සියලු දාෂ්ටීහු අතිසාර දෘෂ්ටිහු යයි කියත්. හෙතෙම අතිසාර දෘෂ්ටියෙන් සම්පූර්ණය යනු අතිසාර දෘෂ්ටියෙන් යුක්තය යනුයි.
“සම්පූර්ණ මානය ඇති තැනැත්තේ මානයෙන් මත් වූයේය යනු ස්වකීය දෘෂ්ටියෙහි දෘෂ්ටි මානයෙන් මත්වූයේ ප්‍රමත්තවූයේ උන්මත්තවූයේ යනුයි. තෙමේම තමන් සිතින් අභිෂෙක කළේ යනු මම දක්ෂයෙක් වෙමි. පණ්ඩිතයෙක් වෙමි. නුවණැත්තෙක් වෙමි. බුද්ධි ඇත්තෙක් වෙමි ඥාන ඇත්තෙක් වෙමියි තෙමේ තමන් සිතින් අභිෂෙක කරයි යනුයි.
“ඔහුගේ ඒ දෘෂ්ටිය එසේ සමාප්තය” යනු ඔහුගේ ඒ දෘෂ්ටිය එසේ සමාප්තය සමාදන් වූයේය. ගත්තේය. පරාමර්ශය, බැසගත්තේය යනුයි
(12 - 13)
“ඉදින් අන්‍යයාට වචනයෙන් නිහීනය” යනු ඉදින් අන්‍යයාට නින්දිත කාරණයෙන් ගර්හිත කාරණයෙන් උපවාද කරණලද කාරණයෙන් අතිශයින් බාලවෙයි. හීන වෙයි. නිහීන වෙයි. ලාමක වෙයි යනුයි.
“තෙමේද ඒ සමගම නිහීන ප්‍රාඥයෙක් වෙයි” යනු හෙතෙමේද ඔහු හා සමගම හීන ප්‍රාඥයෙක් වෙයි. නිහීන ප්‍රාඥයෙක් වෙයි. ලාමක ප්‍රාඥයෙක් වෙයි. අල්ප ප්‍රාඥයෙක් වෙයි යනුයි.
“නුවණැත්තේ ඉදින් තෙමේ වෙදය දන්නේවේ.” යනු ඉදින් ධීරවූ පණ්ඩිතවූ ප්‍රඥවත් බුද්ධිමත් ඥානය ඇති තැනැත්තේ තෙමේ වෙදගුවෙයි, “ශ්‍රමණයන් අතුරෙහි මෝඩවූ කිසිවෙක් නැත යනු ශ්‍රමණයන් අතුරෙහි බාලවූ හීනවූ නිහීනවූ ලාමකවූ අල්පවූ කිසිවෙක් නැත. සියල්ලෝම ශ්‍රෙෂ්ඨ ප්‍රඥා ඇත්තෝය විශිෂ්ට ප්‍රඥා ඇත්තෝය. ප්‍රමුඛ ප්‍රඥා ඇත්තෝය, උත්තම ප්‍රඥා ඇත්තෝය යනුයි
(12 - 14)
“මෙයින් අන්‍යවූ ධර්මයක් කියත්ද, අසමර්ථ ඒ ධර්මය ශුද්ධිය වළක්වයි. යනු මෙයින් අන්‍යවූ ධර්මයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්ගයක් කෙනෙක් තුමූ කියත්ද, ඔවුහු ශුද්ධි මාර්ගය, විශුද්ධි මාර්ගය, පරිශුද්ධි මාර්ගය, ඉතා පිරිසිදු මාර්ගය වරද්දා ගත්තෝය. අසමර්ථවූ ඔවුහු යනු අසමර්ථවූ ඔවුහු අපරිපූර්ණවූ ඔවුහු හීනය නිහීනය ලාමකය යනුයි,
“මෙසේද දෘෂ්ටිගතිකයෝ බොහෝ වශයෙන් කියත්. යනු තීර්ථයයි දෘෂ්ටි ගැන්මට කියයි. දෘෂ්ටිගතිකයෝ තීර්ථකයෝ යයි කියත්. බොහෝ දෘෂ්ටිගතුවන් කියත්. “ස්වකීය දෘෂ්ටි රාගයෙන් ඔවුහු ඇලුනාහුවෙති” යනු ස්වකීය දෘෂ්ටියේ දෘෂ්ටි රාගයෙන් ඇලුනාහු වෙති යනුයි.
(12 - 15)
“මෙහිම ශුද්ධිය වේයයි මෙසේ කියත්” යනු මෙහි ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය, කියත්, ව්‍යවහාර කරත්. ලොකය ශාස්වතය, මෙයම සත්‍යය, අනික හිස්යයි මෙහි ශුද්ධිය විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය පරිමුක්තිය කියත් යනුයි. ලොකය අශාස්වතය සත්වයා මරණින් මතු නොමවෙයි. නොම නොවෙයි. මෙයම සත්‍යය අනික් දේ හිස්යයි මෙහි ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කියත්,
“අන්‍ය ධර්මයන්හි විශුද්ධිය, නොකියත්” යනු තමන්ගේ ශාස්තෘවරයා ධර්මය, ගණයා, දෘෂ්ටිය, ප්‍රතිපදාව මාර්ගය හැර සියලු අන්‍ය වාදයන් බැහැර කරත්. වෙන්කරත්. හෙතෙම ශාස්තෘනොවේ. සර්වඥ නොවේ. ධර්මය මනාව දෙශනා කරණ ලද්දේ නොවේ. ගණයා මනාකොට පිළිපන්නේ නොවේ. දෘෂ්ටිය යහපත් නොවේ. ප්‍රතිපදාව මනාව පණවනලද්දේ නොවේ. මාර්ගය නෛර්‍ය්‍යානික නොවේ මෙහි ශුද්ධියක් හෝ විශුද්ධියක් හෝ මුක්තියක් හෝ පරිමුක්තියක් හෝ නැත, හීනය, නිහීනය මිදීමක් හෝ ලාමකයයි මෙසේ කියත්. මෙසේ ව්‍යවහාර කරත් යනුයි.
“මෙසේද තීර්ථකයෝ බොහෝ සේ ඇළුනාහු වෙත්. යනු තීර්ථය යයි දෘෂ්ටි ගැන්මට කියයි. තීර්ථකයෝ යයි දෘෂ්ටි ගත්තන්ට කියත්. බොහෝ දෘෂ්ටි ගැනීම්වල යෙදුනාහු පිහිටියාහු ඇළුනාහු පැමිණියාහු ගැලුනාහු ඇලුනාහු වෙති.
(12 - 16)
“ස්වකීය මාර්ගයෙහි දැඩි වාද ඇත්තාහු යනු ධර්මය ස්වකීය මාර්ගයයි දෘෂ්ටිය ස්වකීය මාර්ගයයි, ප්‍රතිපදාව ස්වකීය මාර්ගයයි, මාර්ගය ස්වකීය මාර්ගයයි. ස්වකීය මාර්ගයෙහි දැඩිවාද ඇත්තාහු ස්ථිරවාද ඇත්තාහු බලවත් වාද ඇත්තාහු සිටිවාද ඇත්තාහු යනුයි.
“ඒ දෘෂ්ටියෙහි අතිශයින් මෝඩ වශයෙන් කවරක් බලන්නේද යන්නෙහි එහි යනු ස්වකීය දෘෂ්ටියෙහි, ස්වකීය කැමැත්තෙහි, ස්වකීය ලබ්ධියෙහි, අතිශයින් මෝඩයයි හීන යයි නිහීන යයි ලාමකයයි, කුඩායයි, අපිරිසිදු ධර්මයයි මෙසේ කියන්නේ මෙසේ ව්‍යවහාර කරන්නේ තෙමේම කලහ ඩබර විග්‍රහ විවාද ඇති කරන්නේය, රැස් කරන්නේය, අදින්නේය, පමුණුවන්නේය. ගන්නේය, පරාමර්ශ කරන්නේය යනුයි.
(12 - 17)
“තෙමේම ප්‍රමාණකොට විනිශ්චයෙහි සිට” යනු විනිශ්චය යයි දෙසැට දෘෂ්ටි ගැනීම් වලට කියත්. විනිශ්චය දෘෂ්ටියෙහි සිට පිහිටාගෙන, පරාමර්ශකොට බැසගෙන යනුයි. තෙමේ ප්‍රමාණකොට යනු මේ ශාස්තෘවරයා සර්වඥයයි තෙමේ ප්‍රමාණකොට මේ ධර්මය මනාකොට ප්‍රකාශ කරණ ලද්දේයයි මේ ගණයා සුප්‍රතිපන්නයයි මේ දෘෂ්ටිය යහපත්යයි මේ ප්‍රතිපදාව මනාකොට පණවන ලද්දේයයි මේ මාර්ගය නෛර්‍ය්‍යානිකයයි තෙමේ ප්‍රමාණකොට යනුයි.
“ලොකයෙහි තමන්ගේ වාදය මත්තෙහි තබා විවාද කරයි” යන්නෙහි මත්ත යනු අනාගතයට කියයි. තමන්ගේ වාදය ඉදිරියෙහි තබා තෙමේම කලහ ඩබර විග්‍රහ විවාදයන්ට එයි, පැමිණෙයි, ගණියි, බැසගනියි, පරාමර්ශ කරයි. මෙසේද තමන්ගේ වාදය මත්තෙහි තබා විවාද කරයි. යලිදු හෝ අනිකෙකු උසස් කරණ ලද වාදය සමග කලහ කරයි. භණ්ඩණ කරයි, විග්‍රහ කරයි, විවාද කරයි, මෙගධ කරයි. ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය, ( (9-8) 1 (ii) ඡෙදය යෙදිය යුතුයි.) ඉදින් හැකිනම් අවුල හරුව යනුයි.
“සියලු විනිශ්චයන් හැර” යනු දෙසැට දෘෂ්ටිගැනීම් විනිශ්චය යයි කියත්. දෘෂ්ටි විනිශ්චයෙන් සියලු විනිශ්චයයන් හැර බැහැරකොට අත්හැර දුරුකොට අභාවයට පමුණුවා යනුයි.
“සත්වයා ලොකයෙහි කලහ නොකරයි” යනු කලහ නොකරයි, ඩබර නොකරයි, විග්‍රහ නොකරයි, විවාද නොකරයි යනුයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
“අග්ගිවෙස්සනය, මෙසේ මිදුන භික්ෂුතෙම වනාහි කිසිවකු හා විවාද නොකරයි, ලොකයෙහි යමක් කියන ලදද ස්පර්ශනොකරමින් එය ව්‍යවහාර කරයි. ‘සත්වයා’ යනු සත්වයා නරයා මනවයා පුරුෂයා පුද්ගලයා ජීවයා යනුයි. “ලොකයෙහි” යනු අපාය ලොකයෙහි ( (3-4) 6 ඡෙදය යෙදිය යුතුයි.) ආයතන ලොකයෙහි යනුයි.
චූළවියූහසුත්තනිද්දෙසො ද්වාදසමො.
විවරණ [0]