බරවීම්

පරිවර්තන [5]

පඤ්ඤා කථා

(1) භාවනා වශයෙන් වැඩූ නැවත නැවත වැඩූ අනිච්චානුපස්සනාව (පඤ්චස්කන්ධය අනිත්‍ය ලෙස බැලීම) කවර ප්‍රඥාවක් සම්පූර්ණ කරයිද? (මෙහි පහත දක්වන වාක්‍ය ඉදිරියට “භාවනා වශයෙන් වැඩූ, නැවත නැවත වැඩූ” යන වචන යෙදිය යුතුයි.) (2) - දුක්ඛානුපස්සනාව (පඤ්චස්කන්ධය දුක්වූ පරිදි බැලීම) කවර ප්‍රඥාවක් සම්පූර්ණ කරයිද? (3) - අනත්තානුපස්සනාව (පඤ්චස්කන්ධය ආත්මයක් නොවේයයි බැලීම) කවර ප්‍රඥාවක් සම්පූර්ණ කරයිද? (4) - නිබ්බිදානුපස්සනාව (සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම අනුව බැලීම) කවර ප්‍රඥාවක් සම්පූර්ණ කරයිද? (5) - විරාගානුපස්සනාව (සියලු සංස්කාරයන්හි නොඇලීම අනුව බැලීම) කවර ප්‍රඥාවක් සම්පූර්ණ කරයිද? (6) - නිරෝධානුපස්සනාව (සියලු සංස්කාරයන් නැති කිරීම අනුව බැලීම) කවර ප්‍රඥාවක් සම්පූර්ණ කරයිද? (7) - භාවනාව වශයෙන් වැඩූ පටිනිස්සග්ගානුපස්සනාව (සියලු සංස්කාරයන් දුරුකිරීම අනුව බැලීම) කවර ප්‍රඥාවක් සම්පූර්ණ කරයිද?

(1) භාවනා වශයෙන් වැඩූ නැවත නැවත වැඩූ අනිච්චානුපස්සනාව, ජවන ප්‍රඥාව (අනිත්‍ය වශයෙන් වහාදුවන ප්‍රඥාව) සම්පූර්ණ කරයි.

(මෙහි පහත දක්වන වාක්‍ය ඉදිරියට “භාවනා වශයෙන් වැඩූ, නැවත නැවත වැඩූ” යන වචන යෙදිය යුතුයි.)

(2) - දුක්ඛානුපස්සනාව නිබ්බෙධික (සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති කරවන) ප්‍රඥාව සම්පූර්ණ කරයි.

(3) - අනත්තානුපස්සනාව මහා ප්‍රඥාව සම්පූර්ණ කරයි.

(4) - නිබ්බිදානුපස්සනාව, (තියුණු නුවණ) සම්පූර්ණ කරයි.

(5) - විරාගානුපස්සනාව, විපුල ප්‍රඥාව (වැඩුණු නුවණ) සම්පූර්ණ කරයි.

(6) - නිරෝධානුපස්සනාව ගැඹුරු නුවණ සම්පූර්ණ කරයි.

(7) - පටිනිස්සග්ගානු පස්සනාව අසාමන්ත ප්‍රඥාව (සෙසු නුවණට සමීප නුවණ) සම්පූර්ණ කරයි.

(8) - ජවන ප්‍රඥාව ආදී මේ සත් ප්‍රඥාවෝ පණ්ඩිත බව සම්පූර්ණ කරයි.

(9) - මේ පාණ්ඩිත්‍යය සහිතවූ මේ ප්‍රඥාවෝ අටදෙන පෘථුප්‍රඥාව (ලෞකික නුවණ) ඉක්මවූ නුවණ සම්පූර්ණ කරයි.

(10) - පෘථුප්‍රඥාව ආදී මේ ප්‍රඥාවෝ නවදෙන (හාස ප්‍රඥාව) සන්තෝෂ සහිත නුවණ සම්පූර්ණ කරයි.

මේ හාස ප්‍රඥාව නම් පටිභාන පටිසම්භිදාවයි. ඒ ඒ ප්‍රඥාවෝ තත්වාකාරයෙන් අවබෝධ කරන්නාවූ ඥානයයි.

ඒ ආර්ය පුද්ගලයා විසින් හේතු ඵල ආදී අර්ථයන් නිශ්චය කිරීමෙන් අත්ථපටිසම්භිදාව (අර්ථ දැනීමේ ඥානය) ලබන ලද්දීවෙයි. ප්‍රත්‍යක්ෂ කරන ලද්දීවෙයි. නුවණින් ස්පර්ශකරන ලද්දීවෙයි. ඵලය උපදවන හේතුව ආදී පඤ්ච ධර්මයන් නිශ්චය කිරීමෙන් ධර්ම පටිසම්භිදාව (ඒ ධර්මයන් පිළිබඳ දැනීම) ලබන ලද්දීවෙයි. ප්‍රත්‍යක්ෂ කරණ ලද්දීවෙයි. නුවණින් ස්පර්ශ කරන ලද්දීවෙයි. ඒ අර්ථ ධර්ම දෙදෙනාගේ නිරුක්තිය නිශ්චය කිරීමෙන් නිරුක්ති පටිසම්භිදාව (ශබ්ද අර්ථ දෙකේ තත්වූ පරිදි දැනීම) ලබන ලද්දීවෙයි. ප්‍රත්‍යක්ෂ කරන ලද්දීවෙයි නුවණින් ස්පර්ශ කරන ලද්දීවෙයි.

ප්‍රතිභානය මුලින් කී තුන් වැදෑරුම් පටිසම්භිදා ඥානයන් නිශ්චය කිරීමෙන් පටිභාන පටිසම්භිදාව ලබන ලද්දී වෙයි. ප්‍රත්‍යක්ෂ කරන ලද්දීවෙයි. නුවණින් ස්පර්ශ කරන ලද්දී වෙයි. මෙසේ ඒ ආර්ය පුද්ගලයා විසින් මේ සිව් වැදෑරුම් පටිසම්භිදාවෝ ලබන ලද්දාහුවෙත්. ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහු වෙති. නුවණින් ස්පර්ශ කරන ලද්දාහුවෙති.

රූපයෙහි අනිත්‍යය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද, රූපයෙහි දුක අනුව බැලීමේ නුවණ වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන්, කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද, රූපයෙහි අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද, රූපයෙහි නිබ්බිදාව (-කලකිරීම) අනුව බැලීමේ නුවණ වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද,

රූපයෙහි විරාගය (-නොඇලීම) අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද,

රූපයෙහි නිරොධය (-නැති කිරීම) අනුව බැලීමේ නුවණ වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද,

රූපයෙහි පටිනිස්සග්ගය (-අත්හැර දැමීම) අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන්, කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද,

රූපයෙහි අනිත්‍ය අනුව බැලීමේ නුවණ වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන් ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි. රූපයෙහි දුක අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් නිබ්බේධික ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

රූපයෙහි අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් මහා ප්‍රඥාව සම්පූර්ණ වෙයි. රූපයෙහි නිබ්බිදාව (-කලකිරීම) අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් තීක්ෂණ (-තියුණු) ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

රූපයෙහි විරාගය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් විපුල (-පළල්) ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

රූපයෙහි නිරොධය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් ගම්භිර ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

රූපයෙහි පටිනිස්සග්ගය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් අසාමන්ත (-යටත් නැති) ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

මේනුවණ හත වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් පණ්ඩිතකම සම්පූර්ණ වෙයි. ඒ පාණ්ඩිත්‍යය සහිත මේ නුවණ අට වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් පෘථු ප්‍රඥාව සම්පූර්ණවෙයි. පෘථු ප්‍රඥාව සහිත මේ නුවණ නවය වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් හාස ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

මේ හාස ප්‍රඥාව නම් පටිභාන පටිසම්භිදා ඥානයයි.

ආර්ය පුද්ගලයා විසින් අර්ථයන් නිශ්චය කිරීමෙන් අර්ථ දැනීමේ නුවණ ලබන ලද්දේවෙයි. ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයි. ඥානයෙන් ස්පර්ශ කරන ලද්දේ වෙයි ධර්මයන් නිශ්චය කිරීමෙන් ධම්ම පටිසම්භිදාවද නිරුක්ති නිශ්චය කිරීමෙන් නිරුක්ති පටිසම්භිදාවද ප්‍රතිභානය නිශ්චය කිරමෙන් පටිභාන පටිසම්භිදාවද ලබන ලද්දාහු වෙති. ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහු වෙති. ඥානයෙන් ස්පර්ශ කරන ලද්දාහු වෙති.

(මෙසේ) ඒ ආර්ය පුද්ගලයා විසින් මේ සිව්වැදෑරුම් පටිසම්භිදා ඥානයෝ ලබන ලද්දාහු වෙති. ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහු වෙති. ප්‍රඥාවෙන් ස්පර්හ කරන ලද්දාහු වෙති.

වේදනාවේ අනිත්‍යය අනුව බැලීමේ (ii) නුවණ වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද (iii) වේදනාවෙහි දුක අනුව බැලීමේ (මෙහි (ii) යොදන්න.) වේදනාවෙහි අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ (මෙහි (ii) යොදන්න.) වේදනාවෙහි කළකිරීම අනුව බැලීමේ (මෙහි (ii) යොදන්න.) වේදනාවෙහි නොඇලීම අනුව බැලීමේ (මෙහි (ii) යොදන්න.) වේදනාවෙහි නිරුද්ධව කිරීම අනුව බැලීමේ (මෙහි (ii) යොදන්න.) වේදනාවෙහි අත්හැර දැමීම අනුව බැලීමේ (මෙහි (ii) යොදන්න.)

වේදනාවෙහි අනිත්‍යය අනුව බැලීමේ නුවණ වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන් ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි. වේදනාවෙහි දුක අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් නිබ්බෙධික ප්‍රඥාව සම්පූර්ණ වෙයි. වේදනාවෙහි අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ නුවණ වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන් මහා ප්‍රඥාව සම්පූර්ණවේ. වේදනාවෙහි කලකිරීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන්, තියුණු ප්‍රඥාව සම්පූර්ණ වෙයි. වේදනාවෙහි නොඇලීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැත වැඩීමෙන් විපුල (පුළුල්) ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

වේදනාවෙහි නිරුද්ධ කිරීම, අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් ගම්භීර ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

වේදනාවෙහි අත්හැර දැමීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන්, අසාමන්ත ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

මේ ප්‍රඥා හත වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් පාණ්ඩිත්‍යය ඇතිවේ. පාණ්ඩිත්‍යය සහිත ප්‍රඥා අට වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් පෘථු ප්‍රඥාව ඇතිවේ. පෘථු ප්‍රඥාව සහිත මේ ප්‍රඥා නවය වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් හාස ප්‍රඥාව ඇතිවේ. මේ හාස ප්‍රඥාව නම් පටිභාන පටිසම්භිදා ඥානයයි.

ඒ ආර්ය පුද්ගලයා විසින්: අර්ථ නිශ්චය කිරීමෙන් අර්ථ පටිසම්භිදා ඥානයද ධම්ම නිශ්චය කිරීමෙන් ධර්ම සම්භිදා ඥානයද නිරුක්ති නිශ්චය කිරීමෙන් නිරුක්ති පටිසම්භිදා ඥානයද ප්‍රතිභාන නිශ්චය කිරීමෙන් ප්‍රතිභාන පටිසම්භිදා ඥානයද ලබන ලද්දේ වෙයි. ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයි. නුවණින් ස්පර්ශ කරන ලද්දේ වෙයි. මෙසේ ඒ ආර්ය පුද්ගලයා විසින් මේ සිව් වැදෑරුම් පටිසම්භිදා ඥානයෝ ලබන ලද්දාහු වෙති. ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහු වෙති. නුවණින් ස්පර්ශ කරන ලද්දාහු වෙති. සංඥාවෙහි (මෙහි 5 (ii) සංස්කාරයන්හි (මෙහි 6 (ii) විඥානයෙහි (මෙහි 6 (ii) ඇසෙහි (මෙහි 6 (ii) ජරාමරණයෙහි අනිත්‍ය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද?

ජරාමරණයෙහි දුක අනුව බැලීමේ (මෙහි 6 (ii) යොදන්න.)

ජරාමරණයෙහි අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ (මෙහි 6 (ii) යොදන්න.)

ජරාමරණයෙහි කලකිරීම අනුව බැලීමේ (මෙහි 6 (ii) යොදන්න.)

ජරාමරණයෙහි නොඇලීම අනුව බැලීමේ (මෙහි 6 (ii) යොදන්න.)

ජරාමරණයෙහි නිරුද්ධකිරීම අනුව බැලීමේ (මෙහි 6 (ii) යොදන්න.)

ජරාමරණයෙහි අත්හැර දැමීම අනුව බැලීමේ (මෙහි 6 (ii) යොදන්න.) ජරාමරණයෙහි අනිත්‍යය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි. ජරාමරණයෙහි ‘දුක අනුව බැලීමේ නුවණ වැඩීමෙන් (iv) නැවත නැවත වැඩීමෙන් (v) නිබ්බේධික ප්‍රඥාව සම්පූර්ණ වෙයි. ජරාමරණයෙහි අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ (මෙහි iv) මහා ප්‍රඥාව සම්පූර්ණ වෙයි. ජරාමරණයෙහි කලකිරීම අනුව බැලීමේ (මෙහි vi) තියුණු ප්‍රඥාව සම්පූර්ණ වෙයි. ජරා මරණයෙහි නොඇලීම අනුව බැලීමේ (මෙහි iv) විපුල ප්‍රඥාව සම්පූර්ණ වෙයි. ජරා මරණයෙහි නිරුද්ධ කිරීම අනුව බැලීමේ (මෙහි iv) ගැඹුරු නුවණ සම්පූර්ණ වෙයි. ජරා මරණයෙහි අත්හැර දැමීම අනුව බැලීමේ (මෙහි iv) අසාමන්ත ප්‍රඥාව සම්පූර්ණ වෙයි. මේ ප්‍රඥා හත වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන් පාණ්ඩිත්‍යය ඇතිවේ.

(පාණ්ඩිත්‍යය සහිත) මේ ප්‍රඥා අට වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන් පෘථු ප්‍රඥාව ඇතිවේ.

(පෘථු ප්‍රඥාව සහිත) මේ ප්‍රඥා නමය වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන් හාස ප්‍රඥාව ඇතිවේ.

මේ හාස ප්‍රඥාව පටිභාන පටිසම්භිදා ඥානයයි.

ඒ ආර්ය පුද්ගලයා විසින් අර්ථනිශ්චය කිරීමෙන් අර්ථ පටිසම්භිදා ඥානයත්, ධර්ම නිශ්චය කිරීමෙන් ධම්ම පටිසම්භිදා ඥානයත්, නිරුක්ති නිශ්චය කිරීමෙන් නිරුක්ති පටිසම්භිදා ඥානයත්, ප්‍රතිභානය නිශ්චය කිරීමෙන් පටිභාන පටිසම්භිදා ඥානයත් ලබන ලද්දේ වෙයි. ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයි. නුවණින් ස්පර්ශ කරන ලද්දේ වෙයි. මෙසේ ඔහු විසින් මේ පටිසම්භිදා නුවණ හතර ලබන ලද්දේ වෙයි. ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයි. නුවණින් ස්පර්ශ කරන ලද්දේ වෙයි.

රූපයෙහි අනිත්‍ය අනුව බැලීමේ නුවණ (ii) වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද? (iii)

අතීත අනාගත, වර්තමාන රූපයෙහි අනිත්‍ය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් (මේ ඡෙදයේ නුවණ වැඩීමෙන් යන්න තිබෙන සෑම තැනකටම මෙහි (ii) යොදන්න.)

රූපයෙහි දුක අනුව බැලීමේ නුවණ වැඩීමෙන්,

අතීත අනාගත වර්තමාන රූපයෙහි දුක අනුව බැලීමේ නුවණ වැඩීමෙන්,

රූපයෙහි අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ නුවණ වැඩීමෙන්,

අතීත අනාගත වර්තමාන රූපයෙහි අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ නුවණ වැඩීමෙන්,

රූපයෙහි කලකිරීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන්,

රූපයෙහි නොඇලීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන්, අතීත අනාගත වර්තමාන රූපයෙහි නොඇලීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන්,

රූපයෙහි නිරුද්ධකිරීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන්,

අතීතානාගත වර්තමාන රූපයෙහි නිරුද්ධ කිරීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන්,

රූපයෙහි හැර දැමීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන්,

අතීතානාගත වර්තමාන රූපයෙහි, හැර දැමීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන්,

රූපයෙහි අනිත්‍යය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි. අතීතානාගත වර්තමාන රූපයෙහි අනිත්‍ය අනුව බැලීමේ (ii) නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් (iii) ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

රූපයෙහි දුක අනුව බැලීමේ (මෙහි (ii) නිබ්බේධික ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

අතීත අනාගත වර්තමාන රූපයෙහි, දුක අනුව බැලීමේ (මෙහි (ii) ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

රූපයෙහි, අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ (ii) නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් (iii) මහා ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

අතීත අනාගත වර්තමාන රූපයෙහි අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ (මෙහි ii) ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

රූපයෙහි කළකිරීම අනුව බැලීමේ (මෙහි ii) “තියුණු” ප්‍රඥාව සම්පූර්ණ වෙයි. අතීතානාගත වර්තමාන රූපයෙහි, කළකිරීම අනුව බැලීමේ (මෙහි ii) ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

රූපයෙහි, නොඇලීම අනුව බැලීමේ (මෙහි ii) විපුල ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

අතීතානාගත වර්තමාන රූපයෙහි, නොඇලීම අනුව බැලීමේ (මෙහි 8 ii) ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

රූපයෙහි නිරොධය අනුව බැලීමේ (මෙහි 8 ii) ගම්භිර ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

අතීතානාගත වර්තමාන රූපයෙහි, නිරොධය අනුව බැලීමේ (මෙහි 8 ii) ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

රූපයෙහි හැරදැමීම අනුව බැලීමේ (ii) නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් (iii) අසාමන්ත ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

අතීතානාගත වර්තමාන රූපයෙහි, හැරදැමීම අනුව බැලීමේ (මෙහි ii) ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

මේ ප්‍රඥා හත වැඩීමෙන් පාණ්ඩිත්‍යය සම්පූර්ණ වෙයි.

පාණ්ඩිත්‍යය සහිත මේ ප්‍රඥා අට වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් “පෘථු ප්‍රඥාව” සම්පූර්ණ වෙයි.

පෘථු ප්‍රඥාව සහිත මේ ප්‍රඥා නවය වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් හාස ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

මේ හාස ප්‍රඥාව නම් පටිභාන පටිසම්භිදා ඥානයයි.

ඒ ආර්ය පුද්ගලයා විසින් අර්ථ විනිශ්චය කිරීමෙන් අත්ථ පටිසම්භිදා ඥානයද, ධර්ම විනිශ්චය කිරීමෙන් ධම්ම පටිසම්භිදා ඥානයද, නිරුක්ති විනිශ්චය කිරීමෙන් නිරුක්ති පටිසම්භිදා ඥානයද, ප්‍රතිභාන විනිශ්චය කිරීමෙන් පටිභාන පටිසම්භිදා ඥානයද, ලබන ලද්දේ වෙයි, ප්‍රත්‍යක්ෂ කරන ලද්දේවෙයි මෙසේ ඒ ආර්ය පුද්ගලයා විසින් මේ පටිසම්භිදා ඥාන සතර ලබන ලද්දාහු වෙති ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහු වෙති. නුවණින් ස්පර්ශ කරන ලද්දාහු වෙති, වේදනාවෙහි, සංඥාවෙහි, සංස්කාරයන්හි, විඥානයෙහි, ඇසෙහි, කණෙහි, නාසයෙහි, දිවෙහි කයෙහි, ජරා මරණයෙහි, අනිත්‍ය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණ වේද? අතීතානාගත වර්තමාන ජරාමරණයෙහි, අනිත්‍ය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණ වේද?

“ජරා මරණයෙහි දුක අනුව බැලීමේ නුවණ වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද? අතීතානාගත වර්තමාන ජරා මරණයෙහි, දුක අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද? ජරා මරණයෙහි, අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද? අතීතානාගත වර්තමාන ජරාමරණයෙහි, අනාත්ම ලක්ෂණ අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද? ජරා මරණයෙහි, කලකිරීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද? අතීතානාගත වර්තමාන ජරා මරණයෙහි කලකිරීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද? ජරා මරණයෙහි නොඇලීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද?

අතීතානාගත වර්තමාන ජරා මරණයෙහි, නොඇලීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද? ජරා මරණයෙහි නිරුද්ධ කිරීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද? අතීතානාගත වර්තමාන ජරා මරණයෙහි, නිරුද්ධ කිරිම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද? ජරාමරණයෙහි හැර දැමීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද? අතීතානාගත වර්තමාන ජරාමරණයෙහි, හැර දැමීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් කවර ප්‍රඥාවක් සම්පූර්ණවේද?

ජරාමරණයෙහි අනිත්‍යය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි. අතීතානාගත වර්තමාන ජරාමරණයෙහි අනිත්‍යය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි. ජරාමරණයෙහි, දුක අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් නිබ්බේධික ප්‍රඥාව සම්පූර්ණ වෙයි. අතීතානාගත වර්තමාන ජරා මරණයෙහි දුක අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

ජරාමරණයෙහි අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් මහා ප්‍රඥාව සම්පූර්ණ වෙයි. අතීතානාගත වර්තමාන ජරාමරණයෙහි අනාත්ම ලක්ෂණය අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි. ජරාමරණයෙහි කලකිරීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් තියුණු ප්‍රඥාව සම්පූර්ණ වෙයි. අතීතානාගත වර්තමාන ජරාමරණයෙහි කලකීරිම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

රූපයෙහි නොඇලීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් විපුල ප්‍රඥාව සම්පූර්ණ වෙයි. අතීතානාගත වර්තමාන ජරාමරණයෙහි නොඇලීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන්, නැවත නැවත වැඩීමෙන් ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි. ජරාමරණයෙහි නිරුද්ධ කිරීම් අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් ගැඹුරු ප්‍රඥාව සම්පූර්ණ වෙයි. අතීත අනාගත වර්තමාන ජරාමරණයෙහි නිරුද්ධ කිරීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් ජවන ප්‍රඥාව සම්පූර්ණවෙයි ජරාමරණයෙහි හැර දැමීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් අසාමන්ත ප්‍රඥාව සම්පූර්ණවෙයි. අතීත අනාගත වර්තමාන ජරාමරණයෙහි හැර දැමීම අනුව බැලීමේ නුවණ වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙයි. මේ ප්‍රඥා හත වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් පාණ්ඩිත්‍යය සම්පූර්ණවෙයි. පාණ්ඩිත්‍යය සහිත මේ ප්‍රඥා අට වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් පුථු ප්‍රඥාව සම්පූර්ණවෙයි. පුථු ප්‍රඥාව සහිත මේ ප්‍රඥා නවය වැඩීමෙන් නැවත නැවත වැඩීමෙන් හාස ප්‍රඥාව සම්පූර්ණ වෙයි.

මේ හාස ප්‍රඥාව නම් පටිභාන ප්‍රතිසම්භිදා ඥානයයි. ඒ ආර්ය පුද්ගලයා විසින් අර්ථ විනිශ්චය කිරීමෙන් අර්ථ පටිසම්භිදා ඥානයද, ධර්ම විනිශ්චය කිරීමෙන් ධර්ම පටිසම්භිදා ඥානයද නිරුක්ති විනිශ්චය කිරීමෙන් නිරුක්ති පටිසම්භිදා ඥානයද, ප්‍රතිභාන විනිශ්චය කිරීමෙන් ප්‍රතිභාන පටිසම්භිදා ඥානයද යන මේ සිව් වැදෑරුම් ප්‍රතිසම්භිදා ඥාන ලබන ලද්දාහුය. ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහුය. නුවණින් ස්පර්ශ කරන ලද්දාහුය.

මහණෙනි, භාවනා වශයෙන් වඩනලද නැවත නැවත වඩනලද මේ සිව් වැදෑරුම් ධර්මයෝ සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්. (ii) ඒ කවර ධර්ම සතරක්ද යත්, සත්පුරුෂයන් සේවනය කිරීම, සදහම් ඇසීම, නුවණින් මෙනෙහි කිරීම, ලොකොත්තර ධර්මයන් ලැබීමට සුදුසු ශීලාදී ප්‍රතිපදාවෙන් යුක්තවීම (iii) මහණෙනි, මේ සිව් වැදෑරුම් ධර්මයෝ වඩන ලද්දාහු බහුල වශයෙන් වඩන ලද්දාහු සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්. මහණෙනි, භාවිත බහුලිකෘතවූ මේ ධර්මයෝ සතර දෙනෙක් සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්. (මෙහි (ii) යොදන්න.)

මහණෙනි, මේ සිව් වැදෑරුම් ධර්මයෝ වඩනලද්දාහු නැවත නැවත වඩන ලද්දාහු සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්. මහණෙනි, වැඩූ නැවත නැවත වැඩූ මේ ධර්මයෝ සතර දෙනෙක් අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්. (මෙහි 18 (ii) යොදන්න.) මහණෙනි, වඩනලද නැවත නැවත වඩනලද මේ සිව් වැදෑරුම් ධර්මයෝ අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්. මහණෙනි, වඩනලද නැවත නැවත වඩනලද මේ ධර්මයෝ සතර දෙනෙක් රහත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්. (මෙහි 18 (ii) යොදන්න.)

මහණෙනි, භාවිත, බහුලීකෘතවූ මේ ධර්මයෝ සතර දෙනෙක් මාර්ඵල ඥාන ආදී ප්‍රඥාව ලැබීම පිණිස පවතිත්. ප්‍රඥාවගේ වැඩීම පිණිස පවතිත්. ප්‍රඥාවගේ විපුල බව මහත් බව පිණිස පවතිත්. මහා ප්‍රඥාව පිණිස පවතිත්. පෘථු ප්‍රඥාව පිණිස පවතී, විපුල ප්‍රඥාව පිණිස පවතී, ගම්භීර ප්‍රඥාව පිණිස පවතිත්. අසාමන්ත ප්‍රඥාව පිණිස පවතිත්. භූරි ප්‍රඥාව පිණිස පවතිත්. ප්‍රඥාවගේ බහුල බව පිණිස පවතිත්. සීඝ ප්‍රඥාව පිණිස පවතිත්. ලඝු ප්‍රඥාව පිණිස පවතිත්. හාස ප්‍රඥාව පිණිස පවතිත්. ජවන ප්‍රඥාව පිණිස පවතිත්. තීක්ෂණ ප්‍රඥාව පිණිස පවතිත්. නිබ්බේධික ප්‍රඥාව පිණිස පවතිත්. (මෙහි 18 (ii) යොදන්න.)

මහණෙනි, වඩනලද නැවත නැවත වඩනලද මේ ධර්මයෝ සතර දෙන,

(මෙතැන් සිට වචන අගට පිණිස පවතිත් යනු යොදන්න) ප්‍රඥා ප්‍රතිලාභය - ප්‍රඥාවගේ අභිවෘද්ධිය - ප්‍රඥාවගේ විපුල බව - මහා ප්‍රඥාව - පෘථු ප්‍රඥාව - විපුල ප්‍රඥාව - ගම්භිර ප්‍රඥාව -අසාමන්ත ප්‍රඥාව - කෙලෙස් අභිහාසනය - කරන ප්‍රඥාව -භූරී ප්‍රඥාව පිණිස පවතිත්. ප්‍රඥාවගේ බහුල බව පිණිස පවතිත්. සීඝ්‍ර ධර්මයන් දැනගන්නා නුවණ සීඝ්‍ර ප්‍රඥාව - වහාම ධර්මයන් දැනගන්නා නුවණ ලඝු ප්‍රඥාව - සන්තෝෂ සහගත ප්‍රඥාව -හාස ප්‍රඥාව - ඒ ඒ අර්ථයන් හිදුවන ප්‍රඥාව - ජවන ප්‍රඥාව -තියුණු නුවණ තීක්ෂණ ප්‍රඥාව පිණිස පවතිත්.

කෙලෙස් සිඳ බිඳ දමන හෝ කෙලසුන් කෙරෙහි කලකිරෙන ප්‍රඥාව නිබ්බේධික ප්‍රඥාව පිණිස පවතිත්.

3.1.1 සොළසපඤ්ඤානිද්දෙසො

ප්‍රඥාව ලැබීම පිණිස පවතිත්, යන මෙහි ප්‍රතිලාභය නම් කුමක්ද? මාර්ග ඥාන හතර ඵලඥාන හතර පටිසම්භිදා ඥාන හතර අභිඤ්ඤා හය තෙසැත්තෑ නුවණ, සත් සැත්තෑ නුවණ යන මොවුන්ගේ ලැබීම, පිළි ලැබීම, පැමිණීම, වහා පැමිණීම, නුවණින් ස්පර්ශ කිරීම, ප්‍රත්‍යක්ෂ කිරීම, වෙත පැමිණීම, ප්‍රඥා ප්‍රතිලාභයයි, ප්‍රඥාව ලැබීම පිණිස පවතිත්, යන මෙහි ප්‍රඥා ප්‍රතිලාභය නම් මෙයයි. ප්‍රඥාවගේ වැඩීම පිණිස පවතිත් යන මෙහි ප්‍රඥා වෘද්ධිය නම් කුමක්ද? ශෛක්ෂ පුද්ගලයන් හත්දෙනාගේත් පෘථග්ජන කළ්‍යාණයාගේත් ප්‍රඥාව වැඩෙමින් පවතියි. රහතන් වහන්සේගේ ප්‍රඥාව වඩනලද වැඩීම ඇත්තීය, ‘ප්‍රඥා වෘද්ධිය පිණිස පවතිත්.’ යන මෙහි ප්‍රඥා වෘද්ධිය නම් මෙයයි.

“ප්‍රඥාවගේ විපුල බව පිණිස පවතිත්.” යන මෙහි ප්‍රඥා විපුලත්වය නම් කුමක්ද? ශෛක්ෂ පුද්ගලයන් හත්දෙනාගේ හා පෘථග්ජන කළ්‍යාණයාගේද, ප්‍රඥාව විපුලත්වයට පැමිණෙයි. රහතන් වහන්සේගේ ප්‍රඥාව විපුලත්වයට ගියාය. “ප්‍රඥාවගේ විපුලත්වය පිණිස පවතිත්.” යන මෙහි ප්‍රඥා විපුලත්වයයි.

“මහා ප්‍රඥාව පිණිස පවතිත්.” යන මෙහි ප්‍රඥාව නම් කවරීද? මහත්වූ අර්ථයන් නිරවශෙෂයෙන් ගණිනුයි පිළිසිඹියාපත් ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රඥාව මහා ප්‍රඥා නම් වේ.

(මේ වචන මුලට “මහත්වූ කියාද අගට “පිළිසිඹියාපත් ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රඥාව” යන්නද යොදා ගතයුතුයි.) ධර්මයන් - නිරුක්තීන් - ප්‍රතිභානයන් - සීල රාශීන් - සමාධි රාශීන් -ප්‍රඥා රාශීන් - විමුක්ති රාශීන් - විමුක්ති ඥාණදර්ශන රාශීන් -ස්ථාන අස්ථානයන් - මහා විහාර සමාපත්තීන් ආර්ය සත්‍යයන් - සතිපට්ඨානයන් - සම්මප්පධානයන් - ඉද්ධිපාදයන් -ඉන්ද්‍රියයන් - බල - බොජ්ක්ධංග ධර්මයන් - ආර්යමාර්ගය -සාමඤ්ඤඵල - අභිඥාවන් - පරමාර්ථනිර්වාණය - “මහා ප්‍රඥාව පිණිස පවතිත්” යන මෙහි මේ මහා ප්‍රඥාවයි.

“පුථු ප්‍රඥා බව පිණිස පවතිත්” යනු මෙහි පෘථු ප්‍රඥාව නම් කවරීද?

නොයෙක් නොයෙක් ස්කන්ධයන්හි නුවණ පවතීනුයි පෘථුප්‍රඥා නමි. (මෙහි ඒ ඒ වචන අගට “නුවණ පවතීනුයි පෘථුප්‍රඥා නමි.” යන්න යෙදිය යුතුය.) ධාතූන්හි - ආයතනයන්හි -පටිච්ච සමුප්පාදයන්හි - ශුන්‍යතා වශයෙන් නොගතයුතු ධර්මයන්හි - නුවණ පවතීනුයි - අර්ථයන්හි නුවණ පවතීනුයි පුථු පඤ්ඤා නමි. ධර්මයන්හි - නිරුක්තීන්හි - ප්‍රතිභානයන්හි -සීල රාශීන්හි - සමාධි රාශීන්හි - ප්‍රඥා රාශීන්හි - විමුක්ති රාශීන්හි - විමුක්ති ඥාන දර්ශන රාශීන්හි - ස්ථාන අස්ථානයන්හි -විහාර සමාපත්තීන්හි - ආර්ය සත්‍යයන්හි - සතිපට්ඨානයන්හි - සම්‍යක් ප්‍රධානයන්හි - ඉද්ධිපාදයන්හි - ඉන්ද්‍රියයන්හි -බලයන්හි - බොජ්ක්ධංගයන්හි - ආර්ය මාර්ගයන්හි - සාමඤ්ඤ ඵලයන්හි - අභිඥානයන්හි - සාධාරණ ධර්මයන් ඉක්මවා පරමාර්ථ නිර්වාණයෙහි - නුවණ පවතීනුයි පුථු පඤ්ඤා නමි. පුථු ප්‍රඥාව පිණිස පවතිත්. යන මෙහි මේ පුථු ප්‍රඥාවයි.

“විපුල ප්‍රඥා භාවය පිණිස පවතිත්” යන මෙහි විපුල ප්‍රඥාව නම් කවරීද?

විපුල අර්ථයන් නිරවශෙෂයෙන් ගණිනුයි විපුලප්‍රඥා නම් (මෙතැන් සිට ඒ ඒ වචන මුලට “විපුල” යන්නද, ‘නිරවශෙෂයෙන් ගණිනුයි විපුල ප්‍රඥා නමි” යන්න අගටද යෙදිය යුතුයි.) ධර්මයන් - නිරුක්තීන් - ප්‍රතිභානයන් - සීල රාශීන් - සමාධි රාශීන් - ප්‍රඥා රාශීන් - විමුක්ති රාශීන් -විමුක්ති ඥාන දර්ශන රාශීන් - ස්ථාන අස්ථානයන් - විහාර සමාපත්තීන් - ආර්ය සත්‍යයන් - සතිපට්ඨානයන් - සම්‍යක් ප්‍රධාන - ඉද්ධි පාද - ඉන්ද්‍රියයන් - බල - බොජ්ක්ධංගයන් - ආර්ය මාර්ග - සාමඤ්ඤ ඵලයන් - අභිඥාවන් - පරමාර්ථ නිර්වාණය.

“ගම්භීර ප්‍රඥාභාවය පිණිස පවතිත්” යන මෙහි මෙහි ගම්භීර ප්‍රඥාව නම් කවරීද?

ගැඹුරුවූ ස්කන්ධයන්හි නුවණ පවතීනුයි ගම්භිර ප්‍රඥානමි.

(මේ වචන මුලට ‘ගැඹුරුවූ’ කියාද ඒ වචන අගට ‘නුවණ පවතීනුයි ගම්භිර ප්‍රඥා නමි” කියාද යොදන්න.)

- ධාතූන්හි - ආයතනයන්හි - පටිච්චසමුප්පාදයන්හි -ශුන්‍ය වශයෙන් නොගතයුතු ධර්මයන්හි - අර්ථයන්හි -ධර්මයන්හි - නිරුක්තීන්හි - ප්‍රතිභානයන්හි - ශීල රාශීන්හි -සමාධිරාශීන්හි - ප්‍රඥාරාශීන්හි - විමුක්ති රාශීන්හි - විමුක්ති ඥානදර්ශන රාශීන්හි - ස්ථාන අස්ථානයන්හි - විහාර සමාපත්තීන්හි - ආර්යසත්‍යයන්හි - සතිපට්ඨානයන්හි - සම්‍යක් ප්‍රධානයන්හී - ඉද්ධිපාදයන්හි - ඉන්ද්‍රියයන්හි - බලයන්හි -බොජ්ක්ධංගයන්හි - ආර්ය මාර්ගයන්හි - සාමඤ්ඤ ඵලයන්හි -අභිඥාවන්හි - පරමාර්ථ නිර්වාණයෙහි-

“ගම්භිර ප්‍රඥාභාවය පිණිස පවතිත්” යන මෙහි අසාමන්ත ප්‍රඥාව නම් කවරීද?

යම් පුද්ගලයෙකු විසින් අර්ථ නිශ්චය කිරීමෙන් අර්ථපටිසම්භිදාව (ii) ලබනලද්දී වේද, ප්‍රත්‍යක්ෂකරන ලද්දීවේද, ප්‍රඥාවෙන් ස්පර්ශකරන ලද්දී වේද, (ii) ධර්මනිශ්චය කිරීමෙන් ධර්මපටිසම්භිදාව (මෙහි (ii) යොදන්න) නිරුක්ති නිශ්චය කිරීමෙන් නිරුක්ති පටිසම්භිදාව (මෙහි (ii) යොදන්න) ප්‍රතිභානය නිශ්චය කිරීමෙන් ප්‍රතිභාන පටිසම්භිදාව (මෙහි (ii) යොදන්න) ඔහු විසින් අර්ථඥාන විෂයෙහිද ධර්මඥාන විෂයෙහිද නිරුක්ති ඥානවිෂයෙහිද ප්‍රතිභාන ඥානවිෂයෙහිද අන්කිසිවෙක් මැඩළිය හැක්කේ වෙයි.

ඒ ආර්ය පුද්ගලතෙමේ වනාහි අන්‍යයන් විසින් (පෘථග්ජනයන් විසින්) මැඩලිය හැකි නොවේනුයි අසාමන්ත ප්‍රඥාවයි.

කළ්‍යාණ පෘථග්ජනයාගේ නුවණ අට්ඨමක පුද්ගලයාගේ සොවාන් මාර්ගස්ථ පුද්ගලයාගේ නුවණට දුරෙහිය. බොහෝ දුරෙහිය. අතිශයින්ම දුරෙහිය. ලඟ නොවේ. හාත්පස නොවේ.

කළ්‍යාණි ප්‍රථග්ජනයා ගෙණ සසඳන විට සෝවාන් මාර්ගස්ථ පුද්ගලතෙමේ අසාමන්ත ප්‍රාඥයෙකි. ඔහුට වඩා ඈත්වූ නුවණ ඇත්තෙකි.

සෝවාන් මාර්ගස්ථ පුද්ගලයාගේ ප්‍රඥාව සොතාපන්නයාගේ (සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයාගේ) ප්‍රඥාවට වඩා දුරෙහිය, බොහෝ දුරෙහිය, අතිශයින්ම දුරෙහිය, සමීපයෙහි නොවේ, හාත්පස නොවේ.

සෝවාන් මාර්ගයට පැමිණි පුද්ගලයා ගෙණ සසඳනවිට සොතාපන්නයා සෝවාන් පලයට පැමිණි පුද්ගල අසාමන්ත ප්‍රාඥ නම් වේ.

සෝවාන්ඵලස්ථ පුද්ගලයාගේ ප්‍රඥාව සකෘදාගාමි පුද්ගලයාගේ ප්‍රඥාවට වඩා දුරෙහිය, බොහෝ දුරෙහිය අතිශයින්ම දුරෙහිය, සමීපයෙහි නොවේ. හාත්පස නොවේ සකෘදාගාමි පුද්ගලයා ගෙණ සසඳනවිට අනාගාමි පුද්ගලයා අසාමාන්ත ප්‍රාඥා නම් වේ. අනාගාමි පුද්ගලයාගේ ප්‍රඥාව රහතන් වහන්සේගේ ප්‍රඥාවට වඩා දුරෙහිය, ඉතා දුරෙහිය, අතිශයින් දුරෙහිය, සමීපයෙහි නොවේ, හාත්පස නොවේ අනාගාමි පුද්ගලයා ගෙණ සසඳනවිට රහතන් වහන්සේ අසාමන්ත ප්‍රාඥ නම් වනසේක. රහතන් වහන්සේගේ ප්‍රඥාව පසේබුදුන් වහන්සේගේ ප්‍රඥාවට වඩා දුරෙහිය, ඉතා දුරෙහිය අතිශයින්ම දුරෙහිය. සමීපයෙහි නොවේ හාත්පස නොවේ රහතන් වහන්සේ ගෙණ සසඳනවිට පසේබුදුන් වහන්සේ අසාමන්ත ප්‍රාඥ නම් වනසේක.

පසේබුදුන්ද දෙවියන් සහිත ලෝකයද ගෙණ සසඳනවිට තථාගත අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ අග්‍රවූ අසාමන්ත ප්‍රාඥ නම් වනසේක.

එසේම ප්‍රඥාවේ ප්‍රභෙදයන්හි දක්ෂයෙකි. අපමණ ප්‍රභෙද ඇති නුවණින් යුත් කෙනෙකි. පටිසම්භිදා නුවණ ලැබූකෙනෙකි. විශාරද දැනුම් හතරක් ඇති කෙනෙකි. ප්‍රඥාබල දශයක් ඇති කෙනෙකි. ඒ ප්‍රඥා ඇතිබැවින්ම පුරිසාසහය හෙවත් අභිමංගල සම්මතවූ පුරුෂයෙකි. පුරුෂ සිංහය හෙවත් තැති නොගන්නා පුරුෂයෛකි. පුරුෂනාගයෙකි. හෙවත් නිවැරදි මහා පුරුෂයෙකි. පුරුෂාජාන්‍යය, හෙවත් හැම දෙයම දන්නා පුරුෂයෙකි. පුරුෂධුරය උසුලන්නෙකි. නියමම පුරුෂයාය, හෙවත් ලෝකයා උදෙසාම කරන කටයුතු ඇත්තෙකි. ගණන් වශයෙන් හෝ ප්‍රභාව වශයෙන් හෝ අන්තයක් නැත්තාවූ ඥාන ඇති කෙනෙකි. විනෝදයන්ගේ මොහ නැමැති අඳුර නසන බැවින් අපමණ ඥාන තේජස් ඇති කෙනෙකි. ප්‍රඥාව නිසා තුන් ලෝකයෙහිම පතළ ගුණ කථා ඇතියෙකි. ප්‍රඥා නමැති ධනයෙන් ආඪ්‍ය කෙනෙකි. ප්‍රඥා නමැති මහා ධනයක් ඇති කෙනෙකි. පැසසියයුතුවූද, තැන්පත්වූද විශාලවූද, ප්‍රඥා ධනයක් ඇත්තෙකි. සත්වයන් සසර කතරින් නිවන් නැමැති අභයපුරයට පමුණුවන්නෙකි. සත්වයන් හික්මවන්නෙකි. දහම් දෙසා සැක දුරුකිරීමෙන් කරුණු අවබොධකර දෙන්නෙකි. පමුණුවන්නෙකි. නිශ්චය කරන්නෙකි. පැණවූ දෙය ප්‍රතිපත්තිවල යෙදීමෙන් පෙන්වන්නෙකි. ඒ ප්‍රතිපත්ති අනුව පිළිපදින්නන් විපත ලබාදීමෙහි පහදවන්නෙකි. එසේම ඒ භාග්‍යවතුන් වහන්සේ සිය සතන්හි නූපන් ආර්යමාර්ගය උපදවන්නාහ. බුදුන්ගේ සන්තානයන්හි පළ නොවූ මාර්ගය පහළකරන්නාහ. අනිකෙකු නොකී මාර්ගය කියන්නාහ. තමන් උපදවාගත් ආර්යමාර්ගය ප්‍රත්‍යවෙක්ෂා කිරීමෙන් මාර්ගය දන්නාය. විනේය ජනයන්ගේ සන්තානයෙහි ඉපදවිය යුතු මාර්ගයෙහි දක්ෂයෙකි. බෝසත්වරුන්ට කිවයුතු මාර්ගයෙහි විචක්ෂණයෙකි.

මේ ශාසනයට පසුව පැමිණ ශීලාදී ගුණසම්පන්නවූ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ දැන් උන්වහන්සේ ගිය මග අනුව යෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේ දතයුත්තම දන්නාසේක. බැලියයුත්තම බලනසේක, උන්වහන්සේ ලෝකයාට ඇසක්ම වූසේක. ඥානයම වූසේක. ධර්මයම වූසේක. ශ්‍රෙෂ්ඨත්වයෙන් බ්‍රහ්මවූසේක. උන්වහන්සේ ධර්මය වදාරන්නාහ. විවිධාකාරයෙන් ධර්මයෙන් පවත්නාහ අර්ථය පමුණුවන්නාය. අමෘතය දෙන්නාය. ධර්මයට ස්වාමීය. පෙර බුදුවරුන් මෙන්ම බුද්ධත්වයට පැමිණිසේක.

ඒභාග්‍යවතුන් වහන්සේ විසින් නුවණින් නොදත් දෙයක් හෝ නොදුටු දෙයක් හෝ නොපැමිණි දෙයක් හෝ පසක් නොකළ දෙයක් හෝ ස්පර්ශ නොකළ දෙයක් හෝ නැත්තේය. අතීත, අනාගත, වර්තමාන කාලවලට අයිති දේ ඇතුළු සියලු ධර්මයෝ සර්වප්‍රකාරයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ඥානය ඉදිරියෙහි පෙනී සිටිත්.

ආත්මාර්ථය, පරාර්ථය උභයාර්ථය, මෙලොව අර්ථය, පරලොව අර්ථය, නොගැඹුරු අර්ථය, ගැඹුරු අර්ථය, සැඟවුණු අර්ථය, වැසුණු අර්ථය, පැමිණවියයුතු අර්ථය, පමුණුවනලද අර්ථය නිවැරදි අර්ථය කෙළෙස් රහිත අර්ථය, පිරිසිදු අර්ථය නොවෙනස් වන අර්ථය හෙවත් නිර්වාණය යන යම්කිසි දතයුතු දෙයක් වේනම ඒ සියල්ල බුදු නැණ ඇතුළත පැතිර පවතිත්.

සියලු කාය කර්මය, බුදුන්ගේ නුවණ අනුව පවතී. සියලු මනඃ කර්මය (සිතින් සිතන දෙය) බුදුන්ගේ නුවණ අනුව පවතී. බුදුන්ගේ නුවණ අතීත කාලයෙහි ආවරණ රහිතය. නොපැකිලේ, බුදුන්ගේ නුවණ අනාගත කාලයෙහි ආවරණ රහිත වෙයි, හෙවත් නොපැකිලෙයි. බුදුන්ගේ නුවණ වර්තමාන කාලයෙහි ආවරණ රහිත වෙයි. හෙවත් නොපැකිළෙයි.

දතයුතුදෙය යම්තාක් පවතීනම් බුදුන්ගේ නුවණ ඒතාක් පවතී. බුදුන්ගේ නුවණ යම්තාක් පවතීනම් දතයුතු දෙය එපමණක්මය. බුදුන්ගේ නුවණ දතයුතුදෙය කෙළවර කොට පවතී. දතයුතු දෙය බුදුන්ගේ නුවණ කෙළවරකොට පවතී. දතයුතු දෙය ඉක්මවා ඥානය නොපවතී. ඥානය ඉක්මවා නෙය (දතයුත්තක්) ඥාන මාර්ගයක් නැත. ඒ ධර්මයෝ ධර්මයෝ හෙවත්නේය. ඥාන යන දෙක ඔවුනොවුන් කෙළවරකොට පවත්නා සුළුයහ.

යම්සේ මනාව ගටනලද කරඬු පියන් දෙකක් අතරින් යට කරඬු පියන උඩ කරඬු පියන නොඉක්මවයිද, උඩ කරඬු පියන යට කරඬු පියන නොඉක්මවයිද, ඒ පියන් දෙක එකිනෙක කෙළවරකොට පවතිත්ද, එමෙන්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නේය ඥාන යන දෙක එකිනෙක කෙළවරකොට සිටිනසුළුය. නේය මණ්ඩලය යම්තාක් නම් ඥානය එපමණකි. ඥාණය යම්තාක් නම් නේය මණ්ඩලය එපමණය. ඥාණය නෙයමණ්ඩලය කෙළවරකොට පවතී. නේය මණ්ඩලය ඥානය කෙළවර කොට පවතී. නේය මණ්ඩලය ඉක්මවා ඥාණය නොපවතී. ඥාණය ඉක්මවා යන නේය මාර්ගයක් නැත. ඒ ධර්මයෝ ඔවුනොවුන් කෙළවරකොට පවත්නා සුළුයහ.

සියලු ධර්මයන් කෙරෙහි සම්බුදුන්ගේ ඥාණය පවතී, සියලු ධර්මයෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආවර්ජනාව හා සම්බන්ධවෙත්. කැමැත්ත අනුව පවත්නේය. මෙනෙහිකිරීම හා බැඳී පවත්නේය. සිත ඉපදීම හා බැඳී පවත්නේය. සියලු සත්වයන් කෙරෙහි බුදුන්ගේ නුවණ පවතී. බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ ආසස (කුසලාකුශල චිත්ත සන්තානය) දන්නාසේක. අධිමුක්තිය චිත්තප්‍රවාහය දන්නාසේක.

කෙලෙස් අඩු, කෙලෙස් නැති කෙලෙස් වැඩි තියුණු ඉඳුරන් ඇති මොලොක් ඉඳුරන් ඇති යහපත් ආකාර ඇති අයහපත් ආකාර ඇති පහසුවෙන් අවබොධ කරවිය හැකි පහසුවෙන් අවබොධ නොකටහැකි නිවන් දැක්වීමට සුදුසු හා නුසුදුසු සත්වයන් දන්නා සේක. දෙවියන් මාරයන්, බ්‍රහ්මයන් මහණ බමුණන් සහිත දෙවි මිනිසුන්, සත්ව සමූහය, බුද්ධ ඥානයේ ඇතුළත්වෙයි.

යම්සේ තිමි තිමිංගල, මත්ස්‍යයන්ගේ පටන්, යම්තාක් මත්ස්‍යයන් හා කැස්බෑවෝ මහමුහුද ඇතුළත පරිවර්තනය වෙත්ද, එපරිද්දෙන්ම දෙවියන්, මාරයන්, බ්‍රහ්මයන්, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් ප්‍රජාව බුද්ධ ඥානය ඇතුළත පරිවර්තනයවේ.

ගුරුළු රජ පටන් සියලුම පක්ෂීන් අහසේ එක් ප්‍රදේශයකම පරිවර්තනය වන්නාක් මෙන්, සැරියුත් මහ රහතන් වහන්සේ වැනි මහ නුවණ ඇත්තෝ පවා බුද්ධ ඥාණයෙහි එක් ප්‍රදේශයකම පරිවර්තනය වෙත්. බුදුන්ගේ නුවණ දෙවි මිනිසුන්ගේ නුවණට වඩා පැතිර එය ඉක්මවා සිටියි. දක්ෂවූ අනුන් හා වාදකොට පළපුරුදුවූ විදුළි එළියෙන් අඳුරෙහි අස්ලොම් විදින්නාක් මෙන්, ප්‍රඥාවෙන් අන්‍ය දර්ශනයන් බිඳිමින් හැසිරෙන යම් ඒ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ පණ්ඩිතයෝ, වෙත් නම් ඔව්හු සැඟවුණාවූද, වැසුණාවූද, ප්‍රශ්නයන් පිළියෙළකර කර බුදුන් වෙත එළඹ විචාරත්. බුදුරජාණන් වහන්සේ විසින් ඒ ප්‍රශ්නයෝ කියන ලදහ. විසඳන ලදහ, දක්වන ලද හේතු ඇතියහ. ඒ පණ්ඩිතයෝ බුදුරජාණන් වහන්සේගේ පා මුල වැඳ වැටුනෝ වෙත්. ශ්‍රාවක බවට පැමිණෙත් ඉන්පසු බුදුරජාණන් වහන්සේ ඔවුන් අතර ප්‍රඥාවෙන් අතිශයින් බබළනසේක්නුයි අග්‍රවූ අසාමන්ත ප්‍රාඥ නම් වනසේක.

“අසාමන්ත ප්‍රාඥබව පිණිස පවතිත්” යන මෙහි යන මේ අසාමන්ත ප්‍රඥාවයි.

“භූරිප්‍රාඥබව පිණිස පවතිත්” යනමෙහි භූරිපඤ්ඤ නම් කවරීද?

රාගය මැඩපවත්තාහුයි භූරිපඤ්ඤ නමි. රාගය මැඩපැවැත්වූ තැනැත්තා භූරිපඤ්ඤ නමි.

(මෙහි පහත දක්වන වචනවල පළමුවෙනි වචනය අගට “මැඩපවත්වානුයි භූරිපඤ්ඤා නමි” කියාද, එම දෙවෙනි වචනය අගට “මැඩපැවැත්වූ තැනැත්තා භූරිපඤ්ඤ නම් වේ” කියාද යෙදිය යුතුයි)

ද්වේෂය- ද්වේෂය- මොහය- මොහය- ක්‍රොධය- ක්‍රොධය-බද්ධ වෛරය- බද්ධ වෛරය- ගුණමකුකම- ගුණමකුකම-පළිගැනීම- පළිගැනීම- ඊර්ෂ්‍යාව- ඊර්ෂ්‍යාව- මසුරුකම-මසුරුකම- රැවටීම- රැවටීම- ඝටබව- සටබව- ඉදිමුණුගතිය-ඉදිමුණගතිය- එකට එක කිරීම- එකට එක කිරීම- මානය-මානය- අතිමානය- අතිමානය- යොවුන් මදාදිමදය- ඒ මදාදිය-ප්‍රමාදය- ප්‍රමාදය - සියලු කෙලෙස්- සියලු කෙලෙස්- සියලු දුසිරිත්- සියලු දුසිරිත්- සියලු සිතුවිලි- සියලු සිතුවිලි- සසරට පමුණුවනලද සියලු කර්ම- සසරට පමුණුවන සියලු කර්ම-

රාගය සතුරෙකි. ඒ සතුරා මඩනා සුලු ප්‍රඥාව භුරිපඤ්ඤ නමි. (මේ වචන අගට “ඒ සතුරා මඩනා සුලු ප්‍රඥාව භුරිපඤ්ඤ නමි’යි යොදන්න) ද්වෙෂය - මොහය- ක්‍රොධය- බද්ධවෛරය-ගුණමකුකම- පළිගැනීම- ඊර්ෂ්‍යාව- රැවටීම සටබව- ඉදිමුණ ගතිය- එකටඑක කිරීම- මානය - අතිමානය- මදය - ප්‍රමාදය-සියලු කෙලෙස්- සියලු දුසිරිත්- සියලු සිතුවිලි - සසරට පමුණුවන සියලු කර්ම.

භූරියයි කියනුයේ පොළොවටය. ඒ පොළොව හා සමානව පැතුරුනු පුළුල්වූ ප්‍රඥාවෙන් යුක්තවූ තැනැත්තා භූරිපඤ්ඤ නම් වේ. තවද භුරි යනු ප්‍රඥාවට නමකි. ඒ භුරි නම්වූ මේධාව හෙවත් නුවණ මේරීමෙන් ප්‍රධානවූ භූරි පඤ්ඤා නම් වේ. භුරි ප්‍රඥාව පිණිස පවතිත්, යන මෙහි ප්‍රඥා බහුල බව නම් කුමක්ද? මේ ශාසනයෙහි කල්‍යාණ පෘථග්ජනයෙක් හෝ ආර්ය පුද්ගලයෙක් ප්‍රඥාව ගරුකොට වසයි. ප්‍රඥානුකූල පැවතුම් ඇත්තේ වෙයි. ප්‍රඥාවෙන් යුක්තවූ සිත් සතන් ඇත්තෙක් වෙයි. ප්‍රඥානුකූලව වරදින් මිදුනෙක් වෙයි. ප්‍රඥාව ධජයක්කොට ඇත්තේ වෙයි. ප්‍රඥාව හේතුවක්කොට ඇත්තේ වෙයි. ප්‍රඥාව අධිපතිකොට වෙසෙයි. විමසුම් බහුලකොට ඇත්තෙක් වෙයි. නන් වැදෑරුම් විමසුම් බහුලකොට ඇත්තෙක් වෙයි, ප්‍රකට කිරීම් බහුලකොට ඇත්තෙක් වෙයි. ඒ ඒ ධර්මයන් මනාකොට බැලීම් බහුලකොට ඇත්තෙක් වෙයි. ඒ ඒ ධර්මයන් මනා කොට බැලීම් ස්වභාවකොට ඇත්තේ වෙයි. ඒ ඒ ධර්මයන් ප්‍රකටකොට පැහැදිලිව දැන වසන්නෙක් වෙයි. ඒ ප්‍රඥාවම චරිතයකොට ඇත්තෙක් වෙයි. එයම ගරුකොට ඇත්තෙක් වෙයි. එයම බහුලකොට ඇත්තෙක් වෙයි. එයට නතුවෙයි. එයට නැඹුරුව වෙසෙයි. එයට බරව වෙසෙයි. එහි ඇලී වෙසෙයි. එයම අධිපතිකොට වෙසෙයි.

යම්සේ කට්ටි ගැසෙන තැනැත්තා ගණබාහුලිකයා යයි කියනු ලැබේද, සිවුරු ගරුකොට ගන්නා චීවරබාහුලික යයි කියනු ලැබේද, පාත්‍රගරුකයා පාත්‍රබාහුලිකයයි කියනු ලැබේද, සෙනසුන් ගරුකොට වසන්නා සේනාසන බාහුලික යායි කියනු ලැබේද, එසේම මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රඥා ගරුකයෙක් වෙයි. ප්‍රඥා චරිතයෙක් වෙයි. ප්‍රඥාවෙන් යුත් චිත්ත සන්තාන ඇත්තෙක් වෙයි. ප්‍රඥානුකූලව වරදින් මිදුනෙක් වෙයි. ප්‍රඥාව ධජකොට ඇත්තෙක් වෙයි. ප්‍රඥාව කෙතුවක්කොට ඇත්තෙක් වෙයි. ප්‍රඥාව අධිපතිකොට වසයි. විමසීම බහුල කොට ඇත්තෙක් වෙයි. විවිධ විමසුම් බහුලකොට ඇත්තෙක් වෙයි. ප්‍රකට කිරීම බහුලකොට ඇත්තේ වෙයි. මනාකොට බැලීම් බහුලකොට ඇත්තෙක් වෙයි. මනාකොට බැලීම ස්වභාවකොට ඇත්තෙක් වෙයි. පැහැදිලිව දැන වසන්නෙක් වෙයි. එයම චරිතකොට ඇත්තෙක් වෙයි. එය ගරුකොට ඇත්තේවෙයි එය බහුලකොට ඇත්තේ වෙයි. එයට නතුවූයේ වෙයි. එයට නැඹුරුවූයේ වෙයි. එහි ඇළුනෙක් වෙයි. එය අධිපති කොට ඇත්තෙක් වෙයි. ප්‍රඥා බහුල බව පිණිස පවතිත් යන මෙහි මේ ප්‍රඥා බහුල බවයි.

“සීඝ්‍ර ප්‍රඥා බව පිණිස පවතිත්” යන මෙහි සීඝ්‍ර ප්‍රඥාව නම් කුමක්ද? සීඝ්‍රව සිල් සම්පූර්ණ කෙරේනුයි සීඝ පඤ්ඤා නමි. (මේ වචන අගට “සම්පූර්ණ කෙරේනුයි සීඝ පඤ්ඤා නමි.” කියා යොදාගත යුතුයි) සීඝ්‍ර ඉන්ද්‍රිය සංවරය සීඝ්‍ර වැළඳීම පමණ දැනීම - සීඝ්‍ර නිදි වැරීමෙහි යෙදීම - සීඝ්‍ර සිල් සමූහය

-සීඝ්‍ර සමාධි සමූහය- සීඝ්‍ර ප්‍රඥා සමූහය- සීඝ්‍ර විමුක්ති සමූහය-සීඝ්‍ර විමුක්ති ඥාන දර්ශන සමූහයන්- සීඝ්‍ර තැන් නොතැන් පළවිදිනුයි සීඝ පඤ්ඤා නමි. සීඝ්‍ර විහාර සමාපත්තීන්- සීඝ්‍ර ආර්ය සත්‍යයන් - සීඝ්‍ර සතිපට්ඨානයන් වඩානුයි සීඝ පඤ්ඤා නමි. සීඝ්‍රව සම්‍යක් ප්‍රධාන වඩානුයි සීඝ පඤ්ඤා නමි. සීඝ්‍රව ඉද්ධිපාද (මේ වචන අගට ‘වඩානුයි සීඝ පඤ්ඤා නමි’ යනු යොදාගත යුතුයි) සීඝ්‍රව ඉන්ද්‍රියන් ශ්‍රාමණ්‍ය ඵල ප්‍රත්‍යක්ෂ සීඝ්‍රවබල- සීඝ්‍රව බොජ්ක්ධංජගය සීඝ්‍රව ආර්යමාර්ගය- සීඝ්‍රව කෙරේනුයි සීඝ පඤ්ඤා නමි. සීඝ්‍රව අභිඥාවන් අවබොධ කෙරේනුයි සීඝ්‍ර පඤ්ඤා නමි. සීඝ්‍රව පරමාර්ථ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කෙරේනුයි සීඝ පඤ්ඤා නමි. සීඝ්‍ර ප්‍රඥා බව පිණිස පවතිත් යන මෙහි මේ සීඝ්‍ර ප්‍රඥාවයි.

“ලඝු ප්‍රඥා බව පිණිස පවතිත්” යන මෙහි ලඝු ප්‍රඥාව නම් කුමක්ද?

ලඝු ලඝුව සිල් සම්පූර්ණ කෙරේනුයි ලහු පඤ්ඤා නමි. (මෙහි මේ වචන අගට “සම්පූර්ණ කෙරේනුයි ලහු පඤ්ඤානමි” යනුද ඒ වචන ඉදිරියට “ලඝු ලඝුව” කියාද යොදන්න) ඉන්ද්‍රියසංවරය- වැළඳීමෙහි පමණ දැනීම- නිදි වැරීමෙහියෙදීම-සිල් සමූහය- සමාධි සමූහය- ප්‍රඥා සමූහය- විමුක්ති සමූහය-විමුක්ති ඥානදර්ශන සමූහය- තැන් නොතැත් පිළිවිදීනුය ලහු පඤ්ඤා නමි. විහාර සමාපත්තීන්- ආර්ය සත්‍යයන් පිළිවිදිනුයි ලහු පඤ්ඤා නමි. සතිපට්ඨාන වඩානුයි ලහු පඤ්ඤා නමි. (මෙහි මේ වචන අගට “වඩානුයි ලහු පඤ්ඤා නමි.” කියාද ඒ වචන මුලට “ලඝු ලඝුව” කියාද යොදන්න) සම්‍යක් ප්‍රධාන ඍද්ධි පාද - ඉන්ද්‍රිය - බල - බොජ්ක්ධංග - ආර්යමාර්ගය -ශ්‍රාමණ්‍ය පල ප්‍රත්‍යක්ෂ කෙරේනුයි ලහු පඤ්ඤා නමි. අභිඥාවෙන් අවබෝධ කෙරේනුයි ලහු පඤ්ඤා නමි. පරමාර්ථ නිර්වාණය අවබොධ කෙරේනුයි ලහු පඤ්ඤා නමි. “ලඝු ප්‍රඥාව බව පිණිස පවතිත්.” යන මෙහි මේ ලඝු ප්‍රඥාවයි.

“හාස ප්‍රඥාව බව පිණිස පවතිත්” යන මෙහි හාස ප්‍රඥාව නම් කුමක්ද?

මේ සාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් හාස බහුලව ප්‍රීති වෙදනා බහුලව සතුටු බහුලව ප්‍රමෝද බහුලව සිල් සපුරානුයි හාසපඤ්ඤා නමි හාසබහුලව ප්‍රීතිබහුලව සතුටු බහුලව ප්‍රමෝද බහුලව ඉන්ද්‍රිය සංවරය සපුරානුයි හාස පඤ්ඤා නමි. (මේ වාක්‍ය මුලට “හාස බහුලව ප්‍රීති බහුලව සතුටු බහුලව ප්‍රමොද බහුලව” කියාද අගට “සපුරානුයි හාස පඤ්ඤා නමි.” කියාද යොදන්න) - නිදිමැරීමෙහි යෙදීම - සිල් සමූහය - ප්‍රඥා සමූහය විමුක්ති සමූහය- විහාර සමාපත්තීන් - ආර්යසත්‍යයන් ප්‍රතිවෙධ කෙරේනුයි හාස පඤ්ඤා නමි සීවටන් වඩානුයි - සම්‍යක් ප්‍රධාන -ඍද්ධිපාද - ඉන්ද්‍රිය - බල - බොජ්ක්ධංග - ආර්ය මාර්ගය-ශ්‍රාමණ්‍යපල - අභිඥාවන් පිළිවිදිනූයි හාසප්‍රඥානමි. පරමාර්ථයෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කෙරේනුයි හාස පඤ්ඤා නමි. “හාස ප්‍රඥා බව පිණිස පවතිත්” යන මෙහි මේ හාස ප්‍රඥාවයි.

“ජවන ප්‍රඥාව පිණිස පවතිත්” යන මෙහි ජවන ප්‍රඥාව නම් කුමක්ද?

අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ දැඩිවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළංවූ හෝ යම්කිසි වේදනාවක් යම්කිසි සංඥාවක්, යම්කිසි සංස්කාර කෙනෙක් යම්කිසි විඤ්ඤාණයක් ඇත්නම් ඒ සියල්ල අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් වහාදිවේනුයි’ ජවන පඤ්ඤා නමි. අතීත අනාගත වර්තමාන චක්ෂුසත් අතීතානාගත වර්තමාන ජරාමරණත් අනිත්‍යය දුක්ඛ අනාත්ම වශයෙන් වහාදිවේනුයි ජවන පඤ්ඤා නමි.

අතීතානාගත වර්තමාන රූපය ගෙවීයන අර්ථයෙන් අනිත්‍යය, බිය එළවන අර්ථයෙන් දුකය, නිසරු අරුතින් අනාත්මයැයි තුළනයකොට තීරණයකොට ප්‍රකටකොට ව්‍යක්තකොට රූප නිරොධ නම් වූ නිර්වාණයෙහි වහාදිවේනුයි ජවන පඤ්ඤා නමි.

අතීතානාගත වර්තමාන වේදනා සංඥාසංස්කාර විඥානය චක්ෂුස ජරාමරණ යන මේවා ගෙවීයන අර්ථයෙන් අනිත්‍යයි. බිය එළවන අර්ථයෙන් දුක්ය. නිසරුයි යන අර්ථයෙන් අනාත්මයැයි තුළනයකොට තීරණයකොට ප්‍රකටකොට ව්‍යක්තකොට ඔවුන්ගේ නිරොධය නම්වූ නිර්වාණයෙහි වහා දිවේනුයි ජවන පඤ්ඤා නමි. අතීතානාගත වර්තමානවූ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥානය, ඇස, කණ, නාසය, දිව, කය, සිත ජරාමරණය, අනිත්‍යය සංස්කාරයන්ගෙන් උපන්නේය. හේතුඵලයන්ගෙන් උපන්නේය. ගෙවීයන සුළුයි. විනාශවන සුළුයි, නොඇලෙන සුළුයි තනිවන සුළුයි, තුලනයකොට තීරණයකොට ප්‍රකටකොට ව්‍යක්තකොට ජරාමරණ නිරොධ සංඛාතවූ නිර්වාණයෙහි වහාදිවේනුයි ජවන පඤ්ඤා නම් වේ.

“ජවන ප්‍රඥා බව පිණිස පවතිත්” යන මෙහි මේ ජවන පඤ්ඤා නමි.

“තීක්ෂණ ප්‍රඥා බව පිණිස පවතිත්” යන මෙහි තීක්ෂණ නම් කවරීද,

කෙලෙසුන් වහා සිඳීනුයි “තික්ඛ පඤ්ඤා නමි.

උපන් කාම (ii) විතර්කය නොඉවසයි, හැරදමයි, දුරලයි, නැත්තටම නැති කරයි. නූපදින බවට පමුණුවානුයි තික්ඛපඤ්ඤා නම් වේ. (iii) (මෙහි දක්වන වචන අගට (ii) යොදන්න.) උපන් ව්‍යාපාද - උපන් විහිංසා - උපනුපන් ලාමක අකුශල ධර්මයන් - උපන් රාගය - උපන් ද්වෙෂය - උපන් මොහය - උපන් ක්‍රොධය - උපන් බද්ධ වෛරය - උපන් ගුණමකුකම - උපන් පළිගැනීම - උපන් ඊර්ෂයාව - උපන් මසුරුකම - උපන් රැවටීම - උපන් සමබව උපන් සිත ඉදිමුණු ගතිය - උපන් එකට එක කිරීම - උපන් මානය - උපන් අතිමානය - උපන් මදය - උපන් ප්‍රමාදය - උපන් සියලු කෙළෙසුන් -උපන් සියලු දුසිරිත් - උපන් සියලු අභිසංස්කාරයන් - උපන් සසරට පමුණුවන සියලු කර්මයන් - එකම අසුනෙහි හිඳ සතර ආර්ය මාර්ගයද සතර ශ්‍රාමණ්‍ය ඵලයන්ද සිව්පිළිසිඹියාද ෂඩභිඥාවෝද නුවණින් අවබොධ කරන ලද්දාහු වෙත්. පසක් කරන ලද්දාහු වෙත්. ස්පර්ශ කරන ලද්දාහු වෙත්නුයි. තික්ඛ පඤ්ඤා නම් වේ. “තීක්ෂණ ප්‍රඥාව පිණිස පවතිත්.” යනු යන මෙහි මේ තික්ඛ පඤ්ඤා නම් වේ.

“නිර්වේධික ප්‍රඥාව පිණිස පවතිත්.” යන මෙහි නිබ්බෙධක පඤ්ඤාව නම් කුමක්ද?

මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි උද්වේග බහුලව වෙසෙයි. තැති ගැනීම් බහුලව වෙසෙයි. උකටලී බහුල වෙයි. නොඇලීම බහුල වෙයි. අතිශයින් නොඇලීම බහුල වෙයි. සංස්කාරයන්ගෙන් බැහැරව (සියලු සංස්කාරයන්හි) නොඇලෙයි. සියලු සංස්කාරයන්හි නොවිදි විරූ නොපැලු විරූ ලෝභ රාශිය විදීනුයි පලානුයි නිබ්බෙධික පඤ්ඤා නමි. නොවිදි විරූ නොපැලු විරූ ද්වෙෂරාශිය විදීනුයි. පලානුයි. නිබ්බෙධික පඤ්ඤා නමි. මෝහරාශිය (මෙහි වචන මුලට “නොවිදි විරූ නොපැලු විරූ” කියාද ඒ වචන අගට “විදීනුයි පලානුයි නිබ්බෙධික පඤ්ඤා නමි” කියාද යොදන්න.) ක්‍රොධය - බද්ධ වෛරය - ගුණමකුගම - පළිගැනීම - ඊර්ෂ්‍යාව -මසුරුකම - රැවටීම - සටබව - සිත ඉදිමුණු ගතිය - එකට එක කිරීම - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු කෙලෙස් - සියලු දුසිරිත් - සියලු සිතුවිලි - භවගාමි සියලු කර්ම -නිර්වෙධික ප්‍රඥා බව පිණිස පවතිත් යන මෙහි නිර්වෙධික ප්‍රඥාවයි.

මේ සොළොස් ප්‍රඥාවෝය. මේ සොළොස් ප්‍රඥාවන්ගෙන් සම්පූර්ණවූ පුද්ගලතෙමේ පිළිසිඹියා පත් කෙනෙකි.

3.1.2 පුග්ගලවිසෙසනිද්දෙසො

පිළිසිඹියාපත් පුද්ගලයෝ දෙදෙනෙකි. එක් කෙනෙක් පිළිසිඹියාවට පැමිණීමට හේතුභූතවූ පූර්වවාසනා සහිතයෙකි. එක්කෙනෙක් එබඳු පූර්ව වාසනා රහිතයෙකි. ඔවුන් දෙදෙනා අතුරින් යමෙක් පූර්වයෝග (පෙර වාසනා සම්පන්නවූයේ නම් (ii) හෙතෙම ඒ හේතුවෙන් වැඩි නුවණැත්තෙක් වෙයි. අධික වෙයි. විශිෂ්ට වෙයි. ඔහුගේ නුවණ පිළිසිඹියා ඥාන ප්‍රභේදයට පැමිණෙයි. (iii) පිළිසිඹියාපත් පුද්ගලයෝ දෙදෙනෙකි. දෙදෙනාම පූර්වයෝග සම්පන්නයෝය. එක්කෙනෙක් බහුශ්‍රැතයෙකි. කෙනෙක් බහුශ්‍රැත නොවේ. ඔවුන් අතුරෙන් යමෙක් බහුශ්‍රැත නමි (මෙහි (ii) යොදන්න) හෙතෙම පිළිසිඹියාපත් පුද්ගලයෝ දෙදෙනෙකි. දෙදෙනම පූර්වයෝග (පෙර වාසනා) සම්පන්නයෝය. දෙදෙනම බහුශ්‍රැතයෝය. එක්කෙනෙක් දේශනා බහුලකොට ඇත්තෙකි. එක්කෙනෙක් දෙශනා නොවූවෙකි. යමෙක් දේශනා බහුල නමි (මෙහි (ii) යොදන්න) පිළිසිඹියාපත් පුද්ගලයෝ දෙදෙනෙකි. දෙදෙනම පූර්වයෝග සම්පන්නයෝය. දෙදෙනම බහුශ්‍රැතය. දෙදෙනම දේශනා බහුලය එකෙක් ගුරුන් ඇසුරුකළ කෙනෙකි එකෙක් ගුරුන් ඇසුරු නොකළ කෙනෙකි. යමෙක් ගුරුන් ඇසුරු කෙළේනම් (මෙහි (ii) යොදන්න) පිළිසිඹියාපත් පුද්ගලයෝ දෙදෙනෙකි. දෙදෙනම පූර්වයෝග සම්පන්නයි. දෙදෙනම බහුශ්‍රැතය. දෙදෙනම දේශනා බහුලය. දෙදෙනම ගුරුන් ඇසුරුකළාහුය. එකෙක් විදර්ශනා විහරණයෙන් හෝ පලසමාපත්ති විහරණයෙන් යුක්තයෙකි. එකෙක් එබඳු විහරණ නැත්තෙකි. යමෙක් විහරණ බහුල නමි (මෙහි (ii) යොදන්න)

පිළිසිඹියාපත් පුද්ගලයෝ දෙදෙනෙකි. දෙදෙනම පූර්වයෝග සම්පන්නය. දෙදෙනම බහුශ්‍රැතය. දෙදෙනම දේශනා බහුලයි. දෙදෙනම ගුරූපනිශ්‍රිතයහ. දෙදෙනම විදර්ශනා ඵල සමාපත්ති බහුලය. දෙදෙනම ප්‍රත්‍යවෙක්ෂා බහුලය. එකෙක් සෙඛ (හික්මෙන) පටිසම්භිදාවට පැමිණියෙකි. එකෙක් අසේඛ (හික්මී අවසන්) පටිසම්භිදාවට පැමිණියෙකි. යමෙක් අසේඛ පටිසම්භිදාවට පැමිණියෙකි යමෙක් අසෙඛ පටිසම්භිදාවට පැමිණියේ නම් (මෙහි (ii) යොදන්න.)

පිළිසිඹියාපත් පුද්ගලයෝ දෙදෙනෙකි. (iv) දෙදෙනම පූර්වයෝග සම්පන්නය. දෙදෙනම බහුශ්‍රැතය. දෙදෙනම දේශනා බහුලය. දෙදෙනම ගුරූපනිශ්‍රිතය. දෙදෙනම විහාර බහුලය. දෙදෙනම ප්‍රත්‍යවෙක්ෂා බහුලය. දෙදෙනම අසෙඛපටිසම්භිදාවට පැමිණියෝය. (v) එකෙක් ශ්‍රාවක පාරමිතා ඥානයට පැමිණියෙකි. එකෙක් ශ්‍රාවක පාරමිතා ඥානයට නොපැමිණියෙකි. යමෙක් ශ්‍රාවක පාරමිතා ඥානයට පැමිණියේ නම් (මෙහි (ii) යොදන්න)

පිළිසිඹියාපත් පුද්ගලයෝ දෙදෙනෙකි. දෙදෙනම පූර්වයෝග සම්පන්නය. (මෙහි (iv) යොදන්න.) දෙදෙනම අසෙඛ පටිසම්භිදාවට පැමිණියෝය. එක්කෙනෙක් ශ්‍රාවක පාරමිතා ඥානයට පැමිණියෙකි. එක්කෙනෙක් පසේබුදුය. යම් කෙනෙක් පසේ බුදු නම් (මෙහි (ii) යොදන්න.)

පසේ බුදුන්ද දෙවියන් සහිත ලොකයාද ගෙන සසඳනවිට තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ අග්‍රවූ පිළිසිඹියා පත් කෙනෙක් වන සේක. ප්‍රඥා ප්‍රභෙදයන්හි දක්ෂ කෙනෙකි. ප්‍රභේදයට පැමිණි නුවණැති සේක. අවබොධ කළ පිළිසිඹියා ඇති සේක. විශාරද ඥාන සතරක් ඇති කෙනෙක් වන සේක. දශබලධාරීය පුරුෂ ශ්‍රෙෂ්ඨය, පුරුෂ සිංහය.

යම්සේ දක්ෂවූ අනුන් හා වාදකොට හුරුපුරුදුවූ විදුලි එළියෙන් අඳුරෙහි අස්ලොම් විදින්නාක් මෙන් ප්‍රඥාවෙන් අන්‍ය දර්ශනයන් බිඳිමින් හැසිරෙන යම් ඒ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ පණ්ඩිතයෝ වෙත් නම්, ඔව්හු සැගවුණාවූද වැසුණාවූද, ප්‍රශ්නයන් පිළියෙල කර කර බුදුන් වෙත එළඹ විචාරත්. බුදුරජාණන් වහන්සේ විසින් ඒ ප්‍රශ්නයෝ කියන ලදහ. විසඳන ලදහ, දක්වන ලද හේතු ඇතියහ. ඒ පණ්ඩිතයෝ බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටුණෝ වෙත්. ඉන්පසු බුදුරජාණන් වහන්සේ ඔවුන් අතර ප්‍රඥාවෙන් අතිශයින් බබළන සේක්හුයි අග්‍රවූ පිළිසිඹියාපත් කෙනෙක් වන සේක.

මහා පඤ්ඤා කථාව නිමි

විවරණ [0]