මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති “කළාරඛත්තිය” නම් මහණතෙම ආයුෂ්මත් සැරියුත් තෙරුන් යම්තැනකද, එතැනට පැමිණියේය පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සමග සතුටුවිය. සතුටු වියයුතුවූත්, සිහිකටයුතුවූත්, කථාවකොට නිමවා, එක් පැත්තෙක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, “කළාරඛත්තිය” මහණතෙම වනාහි ආයුෂ්මත් සැරියුත් තෙරුන් හට මෙය කීයේය. “ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, “මෝලියඵග්ගුණ” මහණතෙම ශික්ෂාව ප්‍රතික්ෂේපකොට (උපසම්පදා ශීලය ඉවත් කොට) ගිහි වූයේය. ඒ ඇවැත්තෙම මේ ශාසනයෙහි පිහිට ඒකාන්තයෙන් නොලැබීය. එසේ වුවත් ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරතෙම මේ ශාසනයෙහි පිහිට ලැබුවේද? ඇවැත්නි, මම වනාහි (ඒ ගැන) සැක නොකරමි. ඇවැත්නි නැවත ඉපදීම වනාහි නැතිකරන ලදද, ඇවැත්නි, මම වනාහි (ඒ ගැන) සැක නොකරමි.
ඉක්බිති “කළාරඛත්තිය” මහණතෙම ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තෙක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ “කළාරඛත්තිය” මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් විසින් රහත් බව ප්‍රකාශ කරන ලදී. (කෙසේද?) ‘ඉපදීම නැතිවූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරනලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි’ කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට කථාකළේය. “මහණ, නුඹ මෙහි එව. මාගේ වචනයෙන් සැරියුත්තෙරුන් කැඳවන්න” කියායි. “එසේය ස්වාමීනි” කියා ඒ මහණතෙම භාග්‍යවතුන්වහන්සේට උත්තරදී, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවනසේකැයි” කියායි. ඇවැත්නි යහපති, කියා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙම ඒ මහණහට උත්තරදී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්හට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. “ශාරිපුත්‍රයෙනි, නුඹ විසින් රහත් බව ප්‍රකාශකරනු ලැබීය යනු සැබෑද? (කෙසේද?) ‘ඉපදීම නැතිවූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරන ලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි’ කියායි “ස්වාමීනි, මේ පදයන්ගෙන්, මේ අක්ෂරයන්ගෙන් අදහස නොකියනලදී. ශාරිපුත්‍රයෙනි, යම්කිසි ක්‍රමයකින් වනාහි කුලපුත්‍රතෙම රහත් බව ප්‍රකාශ කෙරේද, එසේ ප්‍රකාශ කරන ලද්ද ප්‍රකාශ කරන ලද්ද වශයෙන් දතයුතුය. ස්වාමීනි, මමද එසේ කියන්නෙම් නොවේද? ස්වාමීනි, මේ පදයන්ගෙන්, මේ අක්ෂරයන්ගෙන් අදහස නොකියන ලදී” යනුවෙනි.
“ඉදින් ශාරිපුත්‍රයෙනි, ඔබෙන් මෙසේ අසත් නම්, ‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ ඔබ විසින් රහත් බව පළකරන ලද්දේද? (කෙසේද?) ඉපදීම නැතිවූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරන ලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි’ කියායි. ශාරිපුත්‍රයෙනි, මෙසේ අසනලද ඔබ කිමැයි පැහැදිලි කරන්නේද?”
“ස්වාමීනි, ඉදින් මාගෙන් මෙසේ අසත් නම්, ‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ, ඔබ විසින් රහත් බව ප්‍රකාශ කරන ලද්දේද? (කෙසේද?) ‘ඉපදීම නැති වූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරනලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දේ මම මෙසේ විසඳන්නෙමි. ඇවැත්නි, යමක් හේතුකොට ඉපදීම ඇතිවේද, ඒ හේතුවගේ නැතිවීමෙන් ඉපදීමේ හේතුව නැතිවූ කල්හි ඉපදීම් නම් ඵලය නැතිවූයේයයි දැනගන්නා ලදී. ඉපදීමේ හේතුව නැතිවූ කල්හි ඉපදීම් නම් ඵලය නැතිවූයේයයි දැන, ‘ඉපදීම නැතිවූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරන ලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දේ, මම මෙසේ විසඳන්නෙමි”.
“ඉදින් ශාරිපුත්‍රයෙනි, ඔබෙන් මෙසේ අසත් නම්:-‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, ජාතිය වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාතිකොට ඇත්තේද, කුමක් පටන්ගැන්මකොට ඇත්තේද?’ කියායි. ශාරිපුත්‍රයෙනි, මෙසේ අසනලද්දේ, ඔබ කිමැයි පැහැදිළි කරන්නෙහිද?” “ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත් නම්:-‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, ජාතිය (ඉපදීම) වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාති (උත්පත්ති) කොට ඇත්තේද, කුමක් පටන්ගැන්මකොට ඇත්තේද’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි. ‘ඇවැත්නි, ජාතිය වනාහි භවය (කර්මභවය) නිදානකොට ඇත්තේය. කර්මභවය හේතුකොට ඇත්තේය. භවය ජාති (උත්පත්ති) කොට ඇත්තේය. භවය පටන්ගැන්මකොට ඇත්තේය. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි.
“ඉදින් ශාරිපුත්‍රයෙනි, ඔබෙන් මෙසේ වනාහි අසත් නම්:-‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, භවය වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් සමුදයකොට ඇත්තේද, කුමක් ජාති (උප්පත්ති) කොට ඇත්තේද, කුමක් ප්‍රභව කොට ඇත්තේද’ කියායි. ශාරිපුත්‍රයෙනි, මෙසේ අසන ලද්දේ, ඔබකිමැයි පැහැදිළි කරන්නෙහිද? ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත් නම්:-‘ඇවැත් ශාරිපුත්‍රයෙනි භවය වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාති (උත්පත්ති) කොට ඇත්තේද, කුමක් පටන්ගැන්මකොට ඇත්තේද? කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි. ‘ඇවැත්නි, භවය වනාහි උපාදානය (තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වාගැනීම) නිදානකොට ඇත්තේය. කර්මඋපාදානය හේතුකොට ඇත්තේය. උපාදානය ජාති (උත්පත්ති) කොට ඇත්තේය. උපාදානය පටන්ගැන්ම කොට ඇත්තේය. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි.
“ඉදින් ශාරිපුත්‍රයෙනි, ඔබෙන් මෙසේ වනාහි අසත් නම්:-උපාදානය වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් සමුදයකොට ඇත්තේද, කුමක් ජාති (උප්පත්ති) කොට ඇත්තේද, කුමක් පටන්ගැන්මකොට ඇත්තේද?’ කියායි. ශාරිපුත්‍රයෙනි, මෙසේ අසනලද්දේ ඔබ කිමැයි පැහැදිළි කරන්නෙහිද?” “ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත් නම්:- ‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, උපාදානය වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාති (උත්පත්ති) කොට ඇත්තේද, කුමක් පටන්ගැන්මකොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ පැහැදිලි කරන්නෙමි. ‘ඇවැත්නි, උපාදානය වනාහි තණ්හාව නිදානකොට ඇත්තේය. කර්ම තණ්හාව හේතුකොට ඇත්තේය. තණ්හාව ජාති (උත්පත්ති) කොට ඇත්තේය. තණ්හාව පටන්ගැන්මකොට ඇත්තේය. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ පැහැදිලි කරන්නෙමි.”
“ඉදින් ශාරිපුත්‍රයෙනි, ඔබෙන් මෙසේ වනාහි අසත්නම්:-ඇවැත් ශාරිපුත්‍රයෙනි, තණ්හාව වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාති (උත්පත්ති) කොට ඇත්තේද, කුමක් පටන්ගැන්මකොට ඇත්තේද?’ කියායි. ශාරිපුත්‍රයෙනි, මෙසේ අසනලද්දේ ඔබ කිමැයි පැහැදිළි කරන්නෙහිද?’ ‘ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත් නම්:-‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, තණ්හාව වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාති (උත්පත්ති) කොට ඇත්තේද, කුමක් පටන්ගැන්ම කොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි. ‘ඇවැත්නි, තණ්හාව වනාහි වේදනාව නිදානකොට ඇත්තේය. කර්මවේදනාව හේතුකොට ඇත්තේය. වේදනාව ජාති (උත්පත්ති) කොට ඇත්තේය. වේදනාව පටන් ගැන්මකොට ඇත්තේය. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි.
“ඉදින් ශාරිපුත්‍රයෙනි, ඔබෙන් මෙසේ වනාහි අසත් නම්:- ‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, වේදනාව වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාති (උත්පත්ති) කොට ඇත්තේද, කුමක් පටන්ගැන්මකොට ඇත්තේද? කියායි. ශාරිපුත්‍රයෙනි, මෙසේ අසනලද්දේ ඔබ කිමැයි පැහැදිළි කරන්නෙහිද?” ‘ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත් නම්:- ‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, වේදනාව වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාති (උත්පත්ති) කොට ඇත්තේද, කුමක් පටන්ගැන්ම කොට ඇත්තේද?” කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි. ‘ඇවැත්නි, වේදනාව වනාහි ස්පර්ශය නිදාන කොට ඇත්තේය. කර්ම ස්පර්ශය හේතුකොට ඇත්තේය. ස්පර්ශය ජාති (උත්පත්ති) කොට ඇත්තේය. ස්පර්ශය පටන් ගැන්ම කොට ඇත්තේය. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි.
“ඉදින් ශාරිපුත්‍රයෙනි, ඔබෙන් මෙසේ වනාහි අසත් නම්:- ‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ ඔබට වනාහි වේදනාවන්හි යම් ඇලීමක් (නන්දියක්) වේද, එය එළඹ නොසිටියේද?’ කියායි. ශාරිපුත්‍රයෙනි, මෙසේ අසනලද්දේ ඔබ කිමැයි පැහැදිළි කරන්නෙහිද?” “ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ ඔබට වනාහි වේදනාවන්හි යම් ඇලීමක් (නන්දියක්) වේද, එය එළඹ නොසිටියේද’? කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දේ, මම මෙසේ විසඳන්නෙමි. (කෙසේද?) ‘ඇවැත්නි, මේ වේදනාවෝ වනාහි තිදෙනෙක් වෙති. (ඒ) තිදෙන කවරේද? සැප වේදනාව, දුක් වේදනාව සහ නොදුක් නොසැප වේදනාවයි. ඇවැත්නි, මේ ත්‍රිවිධ වේදනාවෝ වනාහි අනිත්‍යයෝ වෙති. යමක් අනිත්‍යද, එය දුක්ය කියා දන්නාලදී. (ඒ නිසා) වේදනාවන්හි යම් ඇලීමක් (නන්දියක්) වේද, එය එළඹ නොසිටියේය. කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දේ මම මෙසේ විසඳන්නෙමියි” කීයේය.
“ශාරිපුත්‍රයෙනි, සාදු! සාදු!! ශාරිපුත්‍රය, යම්කිසි විඳීමක් වේනම් එය දුකමය. අර්ථය කෙටියෙන් පැහැදිළි කිරීම සඳහා මෙයද එක් ක්‍රමයකි.
“ඉදින් ශාරිපුත්‍රයෙනි, මෙසේ අසත් නම්:- ‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, කෙබඳු මිදීමකින් ඔබ රහත් බව ප්‍රකාශ කරන ලද්දේද? (කෙසේද?) ඉපදීම නැතිවූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරනලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි. කියායි. ශාරිපුත්‍රයෙනි, මෙසේ අසනලද්දේ ඔබ කිමැයි පැහැදිළි කරන්නේද?” “ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, කිනම් මිදීමකින් වනාහි ඔබ රහත් බව ප්‍රකාශකරන ලද්දේද? (කෙසේද?) ‘ඉපදීම නැතිවූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරන ලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි කියායි. ස්වාමීනි මෙසේ අසන ලද්දේ මම මෙසේ පැහැදිළි කරන්නෙමි. ‘ඇවැත්නි, මම අද්ධ්‍යාත්මික සංස්කාරයන් නිමිති වශයෙන් ගෙන, පැමිණි රහත් බැවින් සියලු සිව් වැදෑරුම් උපාදානයන් නැතිකිරීමෙන් යම් ආකාර සිහියකින් වාසයකරන මාහට ආශ්‍රවයෝත් නොඋපදිත්ද, තමහට අවමන් නොකරන්නෙම්ද, එවැනි සිහියෙන් යුක්තව වාසය කරමි’. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි”. “ශාරිපුත්‍රයෙනි, සාදු! සාදු!! ශාරිපුත්‍රයෙනි, යම් ආශ්‍රවයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුද ‘එහි මම සැක නොකරමි. ඔව්හු මා විසින් පහකරන ලද්දාහුයයි සැක නොඋපදවමි යන මෙයද ඒ අර්ථය කෙටියෙන් පැහැදිළි කිරීමට එක්තරා ක්‍රමයකි’ භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගතයන් වහන්සේ ආසනයෙන් නැගිට වෙහෙරට වැඩිසේක.
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් භික්ෂූන්ට
කථා කළේය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර (මා විසින්) නොදත් ප්‍රශ්නයක් මාගෙන් අසනලදී. ඒ මට භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැනගැනීමට ප්‍රමාදවිය. ඇවැත්නි, යම් හෙයකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ මාගේ මුල් ප්‍රශ්නයේ විසඳුමට සතුටුවූසේක්ද (එවිට) ඇවැත්නි, ඒ මට මේ සිත පහළවිය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් දවාලකුදු මාගෙන් මේ අර්ථය අසන්නේ නම් මම දවාලකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමි.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ රැයකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම්, මම රැයකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන් වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමි.
“ඉදින් භාග්‍යවතුන් වහන්සේ එක් රෑ දවාලකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම් මම එක් රෑ දවාලකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමි.
“ඉදින් භාග්‍යවතුන්වහන්සේ රෑ දාවල් දෙකකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම් මම රෑ දාවල් දෙකකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන්වහන්සේට කියන්නෙමි.
“ඉදින් භාග්‍යවතුන්වහන්සේ රෑ දාවල් තුනකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම් මම රෑ දාවල් තුනකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන්වහන්සේට කියන්නෙමි.
“ඉදින් භාග්‍යවතුන්වහන්සේ රෑ දාවල් හතරකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම් මම රෑ දාවල් හතරකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන්වහන්සේට කියන්නෙමි.
“ඉදින් භාග්‍යවතුන්වහන්සේ රෑ දාවල් පහකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම් මම රෑ දාවල් පහකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන්වහන්සේට කියන්නෙමි.
“ඉදින් භාග්‍යවතුන්වහන්සේ රෑ දාවල් හයකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම් මම රෑ දාවල් හයකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන්වහන්සේට කියන්නෙමි.
“ඉදින් භාග්‍යවතුන්වහන්සේ රෑ දාවල් හතකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම් මම රෑ දාවල් හතකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන්වහන්සේට කියන්නෙමි.
ඉක්බිති “කළාරඛත්තිය” නම් මහණතෙම ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටුවිය. සතුටු වියයුතුවූත් සිහි කටයුතුවූත් කථාවකොට නිමවා එක් පැත්තක හුන්නාහුය. එක්පැත්තක හුන්නාවූ ‘කළාරඛත්තිය’ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් (මහත්වූ) සිංහනාදයක් කරනලදී. (කෙසේද?) ‘ඇවැත්නි, (මා) මුලින් දැන නොසිටියාවූ (ඉදින්) ශාරිපුත්‍රයෙනි, ඔබෙන් මෙසේ අසත්නම්:-ශාරිපුත්‍රයෙනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ ඔබ විසින් රහත්බව පළකරන ලද්දේද? (කෙසේද?) ‘ඉපදීම නැතිවූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරනලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි’ යන මේ මුල් ප්‍රශ්නය භාග්‍යවතුන් වහන්සේ මාගෙන් ඇසූ සේක. භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැනගැනීමට ඒමට පමා විය.
‘ඇවැත්නි, යම් හෙයකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ප්‍රශ්නයට අනුව මට සතුටුවූසේක්ද, ඇවැත්නි, ඒ මට මේ අදහස ඇතිවිය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ දවාලකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම්, මම දවාලකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන්වහන්සේට කියන්නෙමි.
‘ඉදින් භාග්‍යවතුන් වහන්සේ රැයකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම් මම රැයකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමි.
‘ඉදින් භාග්‍යවතුන් වහන්සේ එක් රෑ දවාලකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම්, මම එක් රෑ දවාලකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමි.
‘ඉදින් භාග්‍යවතුන් වහන්සේ රෑ දාවල් දෙකකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම්, මම රෑ දෙකකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමි.
‘ඉදින් භාග්‍යවතුන් වහන්සේ රෑ දාවල් තුනකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම්, මම රෑ දාවල් තුනකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමි.
‘ඉදින් භාග්‍යවතුන් වහන්සේ රෑ දාවල් හතරකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම්, මම රෑ දාවල් හතරකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමි.
‘ඉදින් භාග්‍යවතුන් වහන්සේ රෑ දාවල් පහකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම්, මම රෑ දාවල් පහකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමි.
‘ඉදින් භාග්‍යවතුන් වහන්සේ රෑ දාවල් හයකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම්, මම රෑ දාවල් හයකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමි.
‘ඉදින් භාග්‍යවතුන් වහන්සේ රෑ දාවල් හතකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මාගෙන් මේ අර්ථය අසන්නේ නම්, මම රෑ දාවල් හතකුදු වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමි.
“මහණ, ශාරිපුත්‍ර ස්ථවිරයන්ගේ ශ්‍රාවක පාරමීඥානය වනාහි (ඔහු විසින්) මනාකොට අවබෝධ කරනලදී. යම් පාරමීඥානයක් මනාකොට අවබෝධ කරනලද හෙයින් මම දවාලකුදු ඉදින් ශාරිපුත්‍රයන්ගෙන් වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ තේරුම අසන්නෙම් නම් දවාලකුදු ශාරිපුත්‍රතෙම වෙනස් වෙනස්වූ පද වශයෙන් වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මට මේ අර්ථය කියන්නේය.
“ඉදින් මම රැයකුදු ශාරිපුත්‍රගෙන් වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය අසන්නෙම් නම් රැයකුදු ශාරිපුත්‍රතෙම වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මට මේ අර්ථය කියන්නේය.
“ඉදින් මම එක් රෑ දවාලකුදු ශාරිපුත්‍රගෙන් වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය අසන්නෙම් නම් එක් රෑ දවාලකුදු ශාරිපුත්‍රතෙම වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මට මේ අර්ථය කියන්නේය.
“ඉදින් මම රෑ දාවල් දෙකකුදු ශාරිපුත්‍රගෙන් වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය අසන්නෙම් නම් රෑ දාවල් දෙකකුදු ශාරිපුත්‍රතෙම වෙනස් වෙනස් පද වශයෙන්, වෙනස් වෙනස් ක්‍රම වශයෙන් මට මේ අර්ථය කියන්නේය.
“ඉදින් මම රෑ දාවල් තුනකුදු ශාරිපුත්‍රගෙන් වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය අසන්නෙම් නම් රෑ දාවල් දෙකකුදු ශාරිපුත්‍රතෙම වෙනස් වෙනස් පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මට මේ අර්ථය කියන්නේය.
“ඉදින් මම රෑ දාවල් හතරකුදු ශාරිපුත්‍රගෙන් වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය අසන්නෙම් නම් රෑ දාවල් හතරකුදු ශාරිපුත්‍රතෙම වෙනස් වෙනස් පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මට මේ අර්ථය කියන්නේය.
“ඉදින් මම රෑ දාවල් පහකුදු ශාරිපුත්‍රගෙන් වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය අසන්නෙම් නම් රෑ දාවල් පහකුදු ශාරිපුත්‍රතෙම වෙනස් වෙනස් පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මට මේ අර්ථය කියන්නේය.
“ඉදින් මම රෑ දාවල් හයකුදු ශාරිපුත්‍රගෙන් වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය අසන්නෙම් නම් රෑ දාවල් හයකුදු ශාරිපුත්‍රතෙම වෙනස් වෙනස් පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මට මේ අර්ථය කියන්නේය.
“ඉදින් මම රෑ දාවල් හතකුදු ශාරිපුත්‍රගෙන් වෙනස් වෙනස්වූ පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මේ අර්ථය අසන්නෙම් නම් රෑ දාවල් හතකුදු ශාරිපුත්‍රතෙම වෙනස් වෙනස් පද වශයෙන්, වෙනස් වෙනස්වූ ක්‍රම වශයෙන් මට මේ අර්ථය කියන්නේය.
(දෙවෙනි කළාරඛත්තිය සූත්‍රය නිමි.)
විවරණ [1]
English