බරවීම්

පරිවර්තන [19]

ඤාණවත්ථු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ඤාණවස්තූන් හැත්තෑ හතක් නුඹලාට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි (දේශනා කළසේක.) එසේය, ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.

“මහණෙනි, ඤාණවස්තු හැත්තෑහත කවරහුද?

(1) ඉපදීම නිසා ජරා මරණය ඇතිවේය යන නුවණ.

(2) ඉපදීම නැති කල්හි ජරා මරණය නැතිවේය යන නුවණ.

(3) අතීත කාලයෙහිද ඉපදීම නිසා ජරා මරණය ඇති වූයේය යන නුවණ.

(4) ඉපදීම නැතිවූ කල්හි ජරා මරණය නැතිවූයේය, යන නුවණ.

(5) අනාගත කාලයෙහිද ඉපදීම නිසා ජරා මරණය ඇතිවන්නේය යන නුවණ.

(6) ඉපදීම නැති කල්හි ජරා මරණය ඇති නොවන්නේය යන නුවණ.

(7) යම් ඒ (ඉපදීම නිසා ජරා මරණය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

(8) භවය නිසා ඉපදීම ඇතිවේය යන නුවණ.

(9) භවය නැති කල්හි ඉපදීම නැතිවේය යන නුවණ.

(10) අතීත කාලයෙහිද භවය නිසා ඉපදීම ඇතිවූයේය යන නුවණ.

(11) භවය නැතිවූ කල්හි ඉපදීම නැතිවූයේය යන නුවණ.

(12) අනාගත කාලයෙහිද භවය නිසා ඉපදීම ඇති වන්නේය යන නුවණ.

(13) භවය නැති කල්හි ඉපදීම ඇති නොවන්නේය යන නුවණ.

(14) යම් ඒ (භවය නිසා ඉපදීම ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

(15) උපාදානය නිසා භවය ඇතිවේය යන නුවණ.

(16) උපාදානය නැතිකල්හි භවය නැතිවේය යන නුවණ.

(17) අතීත කාලයෙහිද උපාදානය නිසා භවය ඇති වූයේය යන නුවණ.

(18) උපාදානය නැතිවූ කල්හි භවය නැතිවූයේය යන නුවණ.

(19) අනාගත කාලයෙහිද උපාදානය නිසා භවය ඇති වන්නේය යන නුවණ.

(20) උපාදානය නැති කල්හි භවය ඇතිනොවන්නේය යන නුවණ.

(21) යම් ඒ (උපාදානය නිසා භවය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

(22) තණ්හාව නිසා උපාදානය ඇතිවේය යන නුවණ.

(23) තණ්හාව නැති කල්හි උපාදානය නැතිවේය යන නුවණ.

(24) අතීත කාලයෙහිද තණ්හාව නිසා උපාදානය ඇති වූයේය යන නුවණ.

(25) තණ්හාව නැතිවූ කල්හි උපාදානය නැතිවූයේය යන නුවණ.

(26) අනාගත කාලයෙහිද තණ්හාව නිසා උපාදානය ඇතිවන්නේය යන නුවණ.

(27) තණ්හාව නැති කල්හි උපාදානය ඇති නොවන්නේය යන නුවණ.

(28) යම් ඒ (තණ්හාව නිසා උපාදානය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක් වේද එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

(29) වේදනාව නිසා තණ්හාව ඇතිවේය යන නුවණ.

(30) වේදනාව නැතිකල්හි තණ්හාව නැතිවේය යන නුවණ.

(31) අතීත කාලයෙහිද වේදනාව නිසා තණ්හාව ඇති වූයේ යන නුවණ.

(32) වේදනාව නැතිවූ කල්හි තණ්හාව නැතිවූයේය යන නුවණ.

(33) අනාගත කාලයෙහිද වේදනාව නිසා තණ්හාව ඇති වන්නේය යන නුවණ.

(34) වේදනාව නැතිකල්හි තණ්හාව ඇති නොවන්නේය යන නුවණ.

(35) යම් ඒ (වේදනාව නිසා තණ්හාව ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

(36) ස්පර්ශය නිසා වේදනාව ඇතිවේය යන නුවණ.

(37) ස්පර්ශය නැති කල්හි වේදනාව නැතිවේය යන නුවණ.

(38) අතීතකාලයෙහිද ස්පර්ශය නිසා වේදනාව ඇති වූයේය යන නුවණ.

(39) ස්පර්ශය නැතිවූ කල්හි වේදනාව නැතිවූයේ යන නුවණ

(40) අනාගත කාලයෙහිද ස්පර්ශය නිසා වේදනාව ඇති වන්නේ යන නුවණ.

(41) ස්පර්ශය නැති කල්හි වේදනාව ඇති නොවන්නේය යන නුවණ.

(42) යම් ඒ (ස්පර්ශය නිසා වේදනාව ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

(43) සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේය යන නුවණ. (44) සළායතන නැති කල්හි ස්පර්ශය නැතිවේය යන නුවණ.

(45) අතීත කාලයෙහිද සළායතන නිසා ස්පර්ශය ඇතිවූයේය යන නුවණ.

(46) සළායතන නැතිවූ කල්හි ස්පර්ශය නැතිවූයේය යන නුවණ.

(47) අනාගත කාලයෙහිද සළායතන නිසා ස්පර්ශය ඇතිවන්නේය යන නුවණ.

(48) සළායතන නැති කල්හි ස්පර්ශය ඇති නොවන්නේය යන නුවණ.

(49) යම් ඒ (සළායතනය නිසා ස්පර්ශය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

(50) නාමරූප නිසා සළායතනයන් ඇතිවේය යන නුවණ.

(51) නාමරූප නැති කල්හි සළායතන නැතිවේය යන නුවණ.

(52) අතීත කාලයෙහිද නාමරූප නිසා සළායතන ඇති වූයේ යන නුවණ.

(53) නාමරූප නැතිවූ කල්හි සළායතන නැතිවූයේය යන නුවණ.

(54) අනාගත කාලයෙහිද නාමරූප නිසා සළායතන ඇතිවන්නේය යන නුවණ.

(55) නාමරූප නැතිකල්හි සළායතන ඇති නොවන්නේ යන නුවණ.

(56) යම් ඒ (නාමරූප නිසා සළායතනය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

(57) විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේය යන නුවණ.

(58) විඤ්ඤාණය නැති කල්හි නාමරූප නැතිවේය යන නුවණ.

(59) අතීත කාලයෙහිද විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවූයේය යන නුවණ.

(60) විඤ්ඤාණය නැතිවූ කල්හි නාමරූප නැතිවූයේය යන නුවණ.

(61) අනාගත කාලයෙහිද විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවන්නේය යන නුවණ.

(62) විඤ්ඤාණය නැතිකල්හි නාමරූප ඇති නොවන්නේය යන නුවණ.

(63) යම් ඒ (විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

(64) සංස්කාරය නිසා විඤ්ඤාණය ඇතිවේය යන නුවණ

(65) සංස්කාරය නැති කල්හි විඤ්ඤාණය නැතිවේය යන නුවණ.

(66) අතීත කාලයෙහිද සංස්කාරය නිසා විඤ්ඤාණය ඇතිවූයේය යන නුවණ.

(67) සංස්කාරය නැතිවූ කල්හි විඤ්ඤාණය නැතිවූයේය යන නුවණ.

(68) අනාගත කාලයෙහිද සංස්කාරය නිසා විඤ්ඤාණය ඇතිවන්නේය යන නුවණ.

(69) සංස්කාරය නැතිකල්හි විඤ්ඤාණය ඇති නොවන්නේය යන නුවණ.

(70) යම් ඒ (සංස්කාරය නිසා විඤ්ඤාණය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

(71) අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේය යන නුවණ.

(72) අවිජ්ජාව නැති කල්හි සංස්කාරය නැතිවේය යන නුවණ.

(73) අතීත කාලයෙහිද අවිජ්ජාව නිසා සංස්කාර ඇති වූයේය යන නුවණ.

(74) අවිජ්ජාව නැතිවූ කල්හි සංස්කාරය නැතිවූයේය යන නුවණ.

(75) අනාගත කාලයෙහිද අවිජ්ජාව නිසා සංස්කාරය ඇතිවන්නේය යන නුවණ.

(76) අවිජ්ජාව නැති කල්හි සංස්කාරය ඇති නොවන්නේය යන නුවණ.

(77) යම් ඒ (අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.

“මහණෙනි, මොවුහු ඤාණවස්තු සැත්තෑසතයයි කියනු ලැබෙත්.

(සිව්වන ඤාණවත්ථු සූත්‍රය නිමි.)

විවරණ [1]