මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සියලු ආකාරයෙන් මනාව දුක් නැතිකිරීම සඳහා සොයා බලන්නාවූ මහණතෙම කෙතෙක් කරුණුවලින් සොයා බලන්නේද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ අප ධර්මයන්ට පමුණුවනසේක. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තෝය. ස්වාමීනි, මේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියාදෙනසේක් නම් (භාග්‍යවතුන් වහන්සේටම වැටහෙනසේක් නම්) ඉතා හොඳයයි කීවාහුය.
“මහණෙනි, එසේවී නම් අසව්, මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළ සේක. “එසේය ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
“මහණෙනි, මේ ශාසනයෙහි කරුණු විමසා බලන්නාවූ මහණතෙම යම් මේ ජරා මරණ නම් අනේකවිධවූ, නානාප්‍රකාර දුකක් මේ ලෝකයෙහි උපදියි. මේ දුක වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාතිකොට ඇත්තේද, කුමකින් හටගන්නේද, කුමක් ඇති කල ජරා මරණය ඇතිවෙයිද, කුමක් නැති කල ජරා මරණය ඇති නොවේදැයි විමසා බලන්නේය. හෙතෙම මෙසේ විමසා බලන්නේ යම් මේ ජරා මරණ නම් අනේක විධවූ, නානාප්‍රකාර දුකක් ලෝකයෙහි උපදීද, මේ දුක වනාහි ජාතිය නිදානකොට ඇත්තේය. ජාතිය හේතුකොට ඇත්තේය. ජාතිය නිසා පවත්නේය. ජාතිය කරණකොට හටගන්නේය. ජාතිය ඇති කල ජරා මරණය ඇතිවෙයි ජාතිය නැති කල ජරා මරණය ඇති නොවෙයි කියා දැන ගනියි. ඒ මහණතෙම ජරා මරණයද දැනගනියි. ජරා මරණයාගේ හේතුවද දැනගනියි. ජරා මරණය නැතිවීමද දැනගනියි. ජරා මරණය නැතිකරන යම් මාර්ගයක්වේද එයත් දැනගනියි. නිවනට අනුකූල ප්‍රතිපත්තියෙහි හැසිරෙන්නේද වෙයි. මහණෙනි, මේ මහණතෙම සියලු අයුරින් මනාකොට දුක් නැතිකිරීම පිණිස, ජරා මරණය නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.
“නැවතද විමසා බලන්නේ මේ ජාතිය වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් නිසා පවත්නේද, කුමකින් හටගන්නේද, කුමක් ඇති කල්හි ඉපදීම (ජාතිය) ඇතිවේද, කුමක් නැතිකල්හි ඉපදීම (ජාතිය) ඇති නොවේදැයි විමසා බලන්නේය. එසේ විමසා බලන්නාවූ මහණතෙම ඉපදීම කර්මභවය නිදානකොට ඇත්තේය. කර්ම භවය හේතුකොට ඇත්තේය. කර්ම භවය නිසා පවත්නේය. කර්ම භවය කරණකොට හටගන්නේය. කර්ම භවය ඇති කල ඉපදීම (ජාතිය) ඇතිවේ. කර්ම භවය නැති කල ඉපදීම (ජාතිය) ඇති නොවේයයි දැනගන්නේය. හෙතෙම ඉපදීමද දනියි. ඉපදීමට හේතුවද දනියි. ඉපදීම නැතිවීමද දනියි. ඉපදීම නැතිවෙන යම් මාර්ගයක්වේද, එයත් දනියි. හෙතෙම නිවනට අනුකූල පිළිවෙතෙහි හැසිරෙන්නේද වෙයි. මහණෙනි, මේ මහණතෙම සියලු ආකාරයෙන් මනාකොට, දුක් නැතිකිරීම පිණිස, ඉපදීම නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.
“නැවතද විමසා බලන්නේ මේ භවය වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් නිසා හටගන්නේද, කුමකින් ඇතිවන්නේද?, කුමක් ඇති කල කර්මභවය ඇතිවේද, කුමක් නැති කල කර්මභවය ඇති නොවේද කියායි. මෙසේ විමසා බලන්නාවූ හෙතෙම භවය උපාදානය (දැඩි තණ්හාව) නිදානකොට ඇත්තේය. උපාදානය හේතුකොට ඇත්තේය. උපාදානය ජාතිකොට ඇත්තේය. උපාදානය ප්‍රභවකොට ඇත්තේය. උපාදානය ඇති කල භවය ඇතිවෙයි. උපාදානය නැති කල භවය ඇති නොවෙයි කියායි. හෙතෙම භවයද දැනගනියි. භවයට හේතුවද දැනගනියි. භවය නැතිවීමද දැනගනියි භවය නැති කිරීමට සුදුසුවූ, යම් මාර්ගයක් වෙයිද, එයත් දැනගනියි. නිවණට අනුකූල පිළිවෙතෙහි හැසුරුණේ වෙයි. මහණෙනි, මේ මහණතෙම සියලු ආකාරයෙන් මනාකොට දුක් නැති කිරීම පිණිස, භවය නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.
“නැවතද විමසන්නාවූ මහණතෙම මේ උපාදානය වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හටගන්නා හේතුවකොට ඇත්තේද, කුමක් උත්පත්ති හේතුවකොට ඇත්තේද, කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද, කුමක් ඇති කල උපාදානය ඇතිවේද, කුමක් නැති කල උපාදානය ඇති නොවේද කියායි. හෙතෙම විමසනු ලබන්නේ මෙසේ දැන ගනියි. (කෙසේද?) උපාදානය තණ්හාව නිදානකොට ඇත්තේය. තණ්හාව හේතුකොට ඇත්තේය. තණ්හාව ඉපදීමේ හේතුකොට ඇත්තේය. තණ්හාව ප්‍රභව (මුල්) කොට ඇත්තේය. තණ්හාව ඇති කල උපාදානය ඇතිවෙයි. තණ්හාව නැති කල උපාදානය ඇති නොවෙයි කියායි හෙතෙම උපාදානයද දැනගනියි. උපාදානය ඇතිවීමට හේතුවද දැන ගනියි. උපාදානය නැතිකිරීමද දැනගනියි. උපාදානය නැති කිරීමට සුදුසුවූ, යම් මාර්ගයක් වෙයිද, එයත් දැනගනියි. මහණෙනි, මේ මහණතෙම සියලු ආකාරයෙන් මනාකොට දුක් නැතිකිරීම පිණිස උපාදානය නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.
“මේ තණ්හාව වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හටගන්නා හේතුවකොට ඇත්තේද කුමක් උත්පත්ති හේතුකොට ඇත්තේද, කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද, කුමක් ඇති කල තණ්හාව ඇතිවේද, කුමක් නැති කල තණ්හාව ඇති නොවේද කියායි. හෙතෙම විමසනු ලබන්නේ මෙසේ දැනගනියි. (කෙසේද?) තණ්හාව වේදනාව නිදානකොට ඇත්තේය. වේදනාව හේතුකොට ඇත්තේය. වේදනාව ඉපදීමේ හේතුකොට ඇත්තේය. වේදනාව ප්‍රභව (මුල්) කොට ඇත්තේය. වේදනාව ඇති කල තණ්හාව ඇති වෙයි. වේදනාව නැති කල තණ්හාව ඇති නොවෙයි කියායි. හෙතෙම තණ්හාවද දැනගනියි. තණ්හාව ඇතිවීමට හේතුවද දැනගනියි. තණ්හාව නැතිකිරීමද දැනගනියි. තණ්හාව නැතිකිරීමට සුදුසුවූ යම් මාර්ගයක් වෙයිද, එයත් දැනගනියි. මහණෙනි, මේ මහණතෙම සියලු ආකාරයෙන් මනාකොට දුක් නැතිකිරීම පිණිස තණ්හාව නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.
“මේ වේදනාව වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හටගන්නා හේතුවකොට ඇත්තේද, කුමක් උත්පත්ති හේතුවකොට ඇත්තේද, කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද, කුමක් ඇති කල වේදනාව ඇතිවේද, කුමක් නැති කල වේදනාව ඇති නොවේද, කියායි. හෙතෙම විමසනු ලබන්නේ මෙසේ දැනගනියි. (කෙසේද?) වේදනාව ස්පර්ශය නිදාන කොට ඇත්තේය. ස්පර්ශය හේතුකොට ඇත්තේය. ස්පර්ශය ඉපදීමේ හේතුකොට ඇත්තේය. ස්පර්ශය ප්‍රභව (මුල්) කොට ඇත්තේය. ස්පර්ශය ඇති කල වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නැති කල වේදනාව ඇති නොවෙයි කියායි. හෙතෙම වේදනාවද දැනගනියි. වේදනාව ඇතිවීමට හේතුවද දැන ගනියි. වේදනාව නැතිකිරීමද දැනගනියි. වේදනාව නැති කිරීමට සුදුසුවූ යම් මාර්ගයක් වෙයිද එයත් දැනගනියි. මහණෙනි, මේ මහණතෙම සියලු ආකාරයෙන් මනාකොට දුක් නැති කිරීම පිණිස වේදනාව නැතිකිරීම පිණිස පිළිපන්නේ යයි කියනු ලැබේ.
“මේ ස්පර්ශය වනාහි කුමක් නිදානකොට ඇත්තේද කුමක් හටගන්නා හේතුවකොට ඇත්තේද, කුමක් උත්පත්ති හේතුවකොට ඇත්තේද, කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද, කුමක් ඇති කල ස්පර්ශය ඇතිවේද, කුමක් නැති කල ස්පර්ශය ඇති නොවේද කියායි. හෙතෙම විමසනු ලබන්නේ මෙසේ දැනගනියි. (කෙසේද?) ස්පර්ශය සළායතන නිදානකොට ඇත්තේය. සලායතන හේතුකොට ඇත්තේය. සළායතන ඉපදීමේ හේතුකොට ඇත්තේය සළායතන ප්‍රභව (මුල) කොට ඇත්තේය. සළායතන ඇති කල ස්පර්ශය ඇතිවෙයි. සළායතන නැති කල ස්පර්ශය ඇති නොවෙයි කියායි. හෙතෙම ස්පර්ශයද දැනගනියි. ස්පර්ශය ඇතිවීමට හේතුවද දැනගනියි. ස්පර්ශය නැතිකිරීමද දැනගනියි. ස්පර්ශය නැතිකිරීමට සුදුසුවූ යම් මාර්ගයක් වෙයිද එයත් දැනගනියි. මහණෙනි, මේ මහණ තෙම සියලු ආකාරයෙන් මනාකොට දුක් නැතිකිරීම පිණිස, ස්පර්ශය නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.
“මේ සළායතන වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හටගන්නා හේතුවකොට ඇත්තේද, කුමක් උත්පත්ති හේතුවකොට ඇත්තේද, කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද, කුමක් ඇති කල සළායතන ඇතිවේද, කුමක් නැති කල සළායතන ඇති නොවේද කියායි, හෙතෙම විමසනු ලබන්නේ මෙසේ දැනගනියි (කෙසේද?) සළායතන නාමරූප නිදාන කොට ඇත්තේය. නාමරූප හේතුකොට ඇත්තේය නාමරූප ඉපදීමේ හේතුකොට ඇත්තේය. නාමරූප ප්‍රභව (මුල්) කොට ඇත්තේය. නාමරූප ඇති කල සළායතන ඇති වෙයි. නාමරූප නැති කල සළායතන ඇති නොවෙයි කියායි. හෙතෙම සළායතනද දැනගනියි. සළායතන ඇතිවීමට හේතුවද දැනගනියි. සළායතන නැතිකිරීමද දැනගනියි. සළායතන නැතිවීමට සුදුසුවූ, යම් මාර්ගයක් වෙයිද එයත් දැන ගනියි. මහණෙනි, මේ මහණතෙම සියලු ආකාරයෙන් මනා කොට දුක් නැතිකිරීම පිණිස, සළායතන නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.
“මේ නාමරූප වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හටගන්නා හේතුවකොට ඇත්තේද, කුමක් උත්පත්ති හේතුවකොට ඇත්තේද, කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද, කුමක් ඇති කල නාමරූප ඇතිවේද, කුමක් නැති කල නාමරූප ඇති නොවේද කියායි. හෙතෙම විමසනු ලබන්නේ මෙසේ දැනගනියි. (කෙසේද?) නාමරූප විඤ්ඤාණය නිදාන කොට ඇත්තේය. විඤ්ඤාණය හේතුකොට ඇත්තේය. විඤ්ඤාණය ඉපදීමේ හේතුකොට ඇත්තේය. විඤ්ඤාණය ප්‍රභව (මුල්) කොට ඇත්තේය. විඤ්ඤාණය ඇති කල නාමරූප ඇතිවෙයි. විඤ්ඤාණය නැති කල නාමරූප ඇති නොවෙයි කියායි. හෙතෙම නාමරූපද දැනගනියි. නාමරූප ඇතිවීමට හේතුවද දැනගනියි. නාමරූප නැතිකිරීමද දැනගනියි. නාමරූප නැතිකිරීමට සුදුසුවූ, යම් මාර්ගයක් වෙයිද එයත් දැනගනියි. මහණෙනි, මේ මහණතෙම සියලු ආකාරයෙන් මනාකොට දුක් නැතිකිරීම පිණිස, නාමරූප නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.
“මේ විඤ්ඤාණය වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හටගන්නා හේතුවකොට ඇත්තේද, කුමක් උත්පත්ති හේතුවකොට ඇත්තේද, කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද, කුමක් ඇති කල විඤ්ඤාණය ඇතිවේද, කුමක් නැති කල විඤ්ඤාණය ඇති නොවේද කියායි. හෙතෙම විමසනු ලබන්නේ මෙසේ දැනගනියි. (කෙසේද?) විඤ්ඤාණය සංස්කාර නිදාන කොට ඇත්තේය. සංස්කාර හේතුකොට ඇත්තේය. සංස්කාර ඉපදීමේ හේතුකොට ඇත්තේය. සංස්කාර ප්‍රභව (මුල්) කොට ඇත්තේය. සංස්කාර ඇති කල විඤ්ඤාණය ඇති වෙයි. සංස්කාර නැති කල විඤ්ඤාණය ඇති නොවෙයි කියායි. හෙතෙම විඤ්ඤාණයද දැනගනියි. විඤ්ඤාණය ඇතිවීමට හේතුවද දැනගනියි. විඤ්ඤාණය නැතිකිරීමද දැනගනියි. විඤ්ඤාණය නැතිකිරීමට සුදුසුවූ, යම් මාර්ගයක් වෙයිද, එයත් දැනගනියි. මහණෙනි, මේ මහණතෙම සියලු ආකාරයෙන් මනාකොට දුක් නැතිකිරීම පිණිස, විඤ්ඤාණය නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.
“මේ සංස්කාරයෝ වනාහි කුමක් නිදාන කොට ඇත්තෝද, කුමක් සමුදයකොට ඇත්තෝද, කුමක් ජාතිකොට ඇත්තෝද, කුමක් ප්‍රභවකොට ඇත්තෝද, කුමක් ඇති කල සංස්කාරයෝ ඇතිවෙත්ද, කුමක් නැති කල සංස්කාරයෝ ඇති නොවෙත්ද කියායි. හෙතෙම විමසන්නේ මෙසේ දනියි. (කෙසේද?) සංස්කාරයෝ අවිජ්ජාව නිදානකොට ඇත්තෝය. අවිජ්ජාව හේතුවකොට ඇත්තෝය. අවිජ්ජාව ජාතිකොට ඇත්තෝය. අවිජ්ජාව ප්‍රභවකොට ඇත්තෝය. අවිජ්ජාව ඇති කල සංස්කාරයෝ ඇති වෙයි. අවිජ්ජාව නැති කල සංස්කාරයෝ ඇති නොවෙති කියායි. හෙතෙම සංස්කාරයන්ද දනියි. සංස්කාරයන්ගේ හේතුවද දනියි. සංස්කාර නැතිවීමද දනියි. සංස්කාර නැතිවීමට සුදුසුවූ, යම් මාර්ගයක් වෙයිද, එයත් දැනගනියි. නිවනට අනුකූල පිළිවෙතෙහි පිළිපදින්නේද වෙයි. මහණෙනි, මේ මහණතෙම සියලු ආකාරයෙන් දුක් නැතිකිරීම පිණිස, සංස්කාර නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.
“මහණෙනි, අවිජ්ජාවෙන් යුක්තවූ, මේ පුද්ගලතෙම ඉදින් කුශලකර්ම රැස්කෙරෙයිද, (ඔහුගේ) විඤ්ඤාණය කුශල සහගත වෙයි. ඉදින් අකුශල කර්ම රැස් කෙරෙයිද, (ඔහුගේ) විඤ්ඤාණය අකුශල සහගත වෙයි. ඉදින් අරූපාවචර කර්ම රැස් කෙරෙයිද (ඔහුගේ) විඤ්ඤාණය අරූපාවචර කුශල සහගත වෙයි.
“මහණෙනි, යම් කලක වනාහි මහණහුගේ අවිද්‍යාව නැතිවූයේ වෙයිද, අර්හත් මාර්ගඥානය පහළවූයේ වෙයිද, හෙතෙම අවිද්‍යාව දුරුවීමත් අර්හත් මාර්ගඥානය ලැබීමත්, හේතු කොටගෙන කුශල කර්මද රැස් නොකෙරෙයි. අකුශල කර්මද රැස් නොකෙරෙයි. අරූපාවචර කර්මද රැස් නොකෙරෙයි. රැස් නොකරන්නේ, සිත නොමෙහෙයවන්නේ ලෝකයෙහි කිසිවක් (තණ්හාදී වශයෙන්) නොගනියි. (තණ්හාදී වශයෙන්) නොගන්නේ භය නොවෙයි. භය නොවන්නෙන්, තෙමේම පිරිනිවන් පායි. ඉපදීම ක්ෂය වූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර, නිමවන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැතැයි දැනගනියි.
“හෙතෙම ඉදින් සැප වේදනාවක් විඳීද, ඒ වේදනා තොමෝ අනිත්‍යයයි දැනගනී. (තණ්හා වශයෙන්) වැදගැනීම නුසුදුසුයයි දැනගනියි සතුටුවීමට නුසුදුසුයයි දැනගනියි. හෙතෙම ඉදින් දුක් වේදනාවක් විඳියිද ඒ වේදනාව අනිත්‍යයයි දැනගනියි. (තණ්හා වශයෙන්) වැදගැනීම නුසුදුසුයයි දැනගනියි. සතුටුවීමට නුසුදුසුයයි දැනගනියි. ඉදින් හෙතෙම නොදුක් නොසැප වේදනාවක් විඳීද, ඒ වේදනාව අනිත්‍යයයි දැනගනියි. (තණ්හා වශයෙන්) වැදගැනීමට නුසුදුසුයයි දැනගනියි. සතුටුවීමට නුසුදුසුයයි දැනගනියි හෙතෙම ඉදින් සැපවේදනාවක් විඳියිද, එහි නොබැඳී ඒ වේදනාව විඳියි. හෙතෙම ඉදින් දුක් වේදනාවක් විඳියිද, එහි නොබැඳී ඒ වේදනාව විඳියි. හෙතෙම ඉදින් නොදුක් නොසැප වේදනාවක් විඳියිද, එහි නොබැඳී ඒ වේදනාව විඳියි. හෙතෙම කය කෙළවරකොට ඇති වේදනාවක් විඳිනු ලබන්නේ, කය කෙළවරකොට ඇති වේදනාවක් විඳිමියි දැනගනියි. (හෙතෙම) දිවි කෙළවරකොට ඇති වේදනාවක් විඳිනු ලබන්නේ, දිවි කෙළවරකොට ඇති වේදනාවක් විඳිමියි දැන ගනියි. කය බිඳීමෙන් ජීවිත ක්ෂයවීමට පෙර මේ ලෝකයෙහිදීම සතුටු නොවන්නාවූ, සියලු වේදනා සිසිල් බවට පැමිණෙන්නාහුයයිද, ධාතු ශරීරයෝ ඉතුරුවන්නාහුයයිද කියා දැනගනියි.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් කුඹලා වලන් පුච්චන පෝරණුවෙන් උණුසුම් කළයක් ගෙන සමවූ භූමියෙහි තබන්නේ නම් ඒ කළයෙහි යම් උණුසුමක් වූයේද, එය එතැන්හිදීම නැති වන්නේය. කළ කබොලු ඉතිරිවෙත්. මහණෙනි, එසේම මහණ තෙම වනාහි කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිනු ලබන්නේ, කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමියි දැනගනියි. (හෙතෙම) ජීවිතය කෙළවර කොට ඇති වේදනාවක් විඳිනු ලබන්නේ, ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිමියි දැනගනියි. කය බිඳීමෙන් ජීවිතක්ෂය වීමට පෙර මේ ලෝකයෙහි දීම නොසතුටු වන්නාවූ, සියලු වේදනා සිසිල් වන්නාහුයයිද, ධාතු ශරීරයෝ ඉතුරු වන්නාහුයයිද කියා දැනගනියි.
“මහණෙනි, (තොපි) ඒ ගැන කෙසේ සිතන්නහුද? කිම, ක්ෂීණාශ්‍රව මහණතෙම කුශල ක්‍රියා හෝ රැස්කරන්නේද? අකුශල ක්‍රියා හෝ රැස්කරන්නේද? අරූප කුශල් හෝ රැස්කරන්නේද?” “ස්වාමීනි, එය නොවේමය”. “සංස්කාර නිරෝධයෙන් සියලු ආකාරයෙන් සංස්කාර නැතිවූ කල්හි වනාහි කිම විඤ්ඤාණය දක්නහුද”? “ස්වාමීනි, එය නොවේමය” “විඤ්ඤාණ නිරෝධයෙන් සියලු ආකාරයෙන් විඤ්ඤාණය නැතිවූ කල්හි වනාහි කිම නාම රූප දක්නහුද”? “ස්වාමීනි, එය නොවේමය” “නාම රූප නිරෝධයෙන් සියලු ආකාරයෙන් නාම රූප නැතිවූ කල්හි වනාහි කිම සළායතන දක්නහුද”? “ස්වාමීනි, එය නොවේමය”. “සළායතන නිරෝධයෙන් සියලු ආකාරයෙන් සළායතන නැතිවූ කල්හි වනාහි කිම ස්පර්ශය දක්නහුද”? “ස්වාමීනි, එය නොවේමය”. “ස්පර්ශ නිරෝධයෙන් සියලු ආකාරයෙන් ස්පර්ශය නැතිවූ කල්හි වනාහි කිම වේදනාව දක්නහුද”? “ස්වාමීනි, එය නොවේමය” වේදනා නිරෝධයෙන් සියලු ආකාරයෙන් වේදනාව නැතිවූ කල්හි වනාහි කිම තණ්හාව දක්නහුද”? “ස්වාමීනි, එය නොවේමය”. “තණ්හා නිරෝධයෙන් සියලු ආකාරයෙන් තණ්හාව නැතිවූ කල්හි වනාහි කිම උපාදානය දක්නහුද”? “ස්වාමීනි, එය නොවේමය”. “උපාදාන නිරෝධයෙන් සියලු ආකාරයෙන් උපාදානය නැතිවූ කල්හි වනාහි කිම, භවය දක්නහුද”? “ස්වාමීනි, එය නොවේමය”. “භව නිරෝධයෙන් සියලු ආකාරයෙන් භවය නැතිවූ කල්හි වනාහි කිම, ජාතිය (ඉපදීම) දක්නහුද”? “ස්වාමීනි එය නොවේමය”. “ජාති නිරෝධයෙන් සියලු ආකාරයෙන් ජාතිය (ඉපදීම) නැතිවූ කල්හි වනාහි කිම, ජරා මරණය දක්නහුද”? “ස්වාමීනි, එය නොවේමය”
“සාදු! සාදු!! මහණෙනි, ඒ වනාහි මෙසේමය. මහණෙනි, එය අන් අයුරෙකින් නොවේ. මහණෙනි, එය එසේමයයි අදහව් සැකහැර පිළිගනිව්. දුක්ඛයාගේ කෙළවර මෙය යයි මෙහි සැක නැත්තෝවව්”යයි වදාළේය.
(පළමුවන පරිවීමංසමාන සූත්‍රය නිමි)
විවරණ [1]
English