මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ, “වෙස්සභූ” නම් සම්මාසම්බුදුන්ට බුද්ධත්වයට පෙරම බුදුනොවූ, බෝසත් කලම, මේ සිත පහළවිය. ‘මේ සත්වලෝකයා දුකට පැමිණියේ වෙයි, උපදී ජරාවට පත්වෙයි, මැරෙයි, චුතවෙයි, පිළිසිඳ ගනී, එතකුදු වුවත් ජරාමරණයෙන් යුත් මේ දුක නැති කිරීම නොදනී. කවර කලක ජරා මරණයෙන් යුත් මේ දුක නැති කිරීම දකින්නේද?’ කියායි. ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි ජරාව සහ මරණය ඇතිවේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇතිවේද?’ කියායි.
“මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ඉපදීම ඇති කල වනාහී ජරාව සහ මරණය ඇති වෙයි. ඉපදීම නිසා ජරාව සහ මරණය ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් ඇති කල්හි ඉපදීම ඇතිවේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය ඇති කල්හි වනාහි ඉපදීම ඇති වේයයි. (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. කුමක් ඇති කල්හි වනාහි භවය ඇති වේද, කුමක් නිසා භවය ඇතිවේද?” කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය (තදින් ඇලීම) ඇති කල්හි වනාහි භවය ඇති වෙයි. ‘උපාදානය නිසා භවය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි උපාදානය ඇතිවේද, කුමක් නිසා උපාදානය ඇතිවේ? කියායි. මහණෙනි ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘තණ්හාව’ ඇති කල්හි වනාහි උපාදානය ඇතිවෙයි. තණ්හාව නිසා උපාදානය ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහී තණ්හාව ඇති වේද, කුමක් නිසා නිසා තණ්හාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවෙයි. වේදනාව නිසා තණ්හාව ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. “කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය ඇති කල්හි වනාහි වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. “කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවේද, කුමක් නිසා ස්පර්ශය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇති වෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. “කුමක් ඇති කල්හි වනාහි සළායතන ඇති වේද, කුමක් නිසා සළායතන ඇතිවේද?’ කියායි. මහණෙනි, වෙස්සභූ නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාම රූපයන් ඇති කල්හි වනාහි සළායතන ඇති වෙයි. නාම රූපයන් නිසා සළායතන ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. “කුමක් ඇති කල්හි වනාහි නාමරූප ඇතිවේද, කුමක් නිසා නාමරූප ඇතිවේද?’ කියායි. මහණෙනි, වෙස්සභූ නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය ඇති කල්හි වනාහි නාමරූප ඇති වෙයි. විඤ්ඤාණය නිසා නාම රූප ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. “කුමක් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද, කුමක් නිසා විඤ්ඤාණය ඇතිවේද?’ කියායි. මහණෙනි, වෙස්සභූ නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාරයෝ ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇති වෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. “කුමක් ඇති කල්හි වනාහි සංස්කාර ඇතිවේද, කුමක් නිසා සංස්කාර ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති, වෙස්සභූ නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇති වෙයි. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙත්’ කියා (නුවණින්) අවබෝධ විය.
“මෙසේ වනාහි අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාරයන් නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතිය (ඉපදීම) ද, ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක්ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි, වෙස්සභූ නම් බෝසතුන්ට වනාහි පහළවීම යන පෙර නොඇසූ මේ කාරණයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි; වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ජරාමරණය නැතිවේද, කවරක් නැතිවීමෙන් ජරාමරණය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන් ‘ඉපදීම නැති කල්හි වනාහි ජරාමරණය ඇති නොවේ. ඉපදීම නැති කිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ’යයි (නුවණින්) අවබෝධ විය.
මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ඉපදීම නැතිවේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට, ඇතිතතු මෙනෙහි කිරීමෙන් භවය නැති කල්හි වනාහි ඉපදීම ඇති නොවේ. භවය නැති කිරීමෙන් ඉපදීම නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි භවය නැතිවේද, කවරක් නැතිවීමෙන් භවය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය නැතිකල්හි වනාහි භවය ඇති නොවේ. උපාදානය නැති කිරීමෙන් භවය නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළවිය, ‘කුමක් නැති කල්හි වනාහි උපාදානය නැතිවේද, කවරක් නැතිවීමෙන් උපාදානය නැතිවේද? කියායි. මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව නැති කල්හි වනාහි උපාදානය ඇති නොවේ. තණ්හාව නැතිකිරීමෙන් උපාදානය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් වේදනාව නැති කල්හි වනාහි තණ්හාව ඇති නොවේ. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළවිය. “කුමක් නැති කල්හි වනාහි වේදනාව නැතිවේද කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය නැති කල්හි වනාහි වේදනාව ඇති නොවේ. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි ස්පර්ශය නැතිවේද, කවරක් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් නැති කල්හි වනාහි ස්පර්ශය ඇති නොවේ. සළායතනයන් නැති කිරීමෙන් ස්පර්ශය නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැතිකල්හි වනාහි සළායතනයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතන නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයෝ නැති කල්හි වනාහි සළායතන ඇති නොවේ. නාමරූපයෝ නැතිකිරීමෙන් සළායතන නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැතිකල්හි වනාහි නාමරූපයෝ නැතිවේද, කවරක් නැතිවීමෙන් නාමරූපයෝ නැති වේද?” කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය නැතිකල්හි වනාහි නාමරූපයන් ඇති නොවේ. විඤ්ඤාණය නැතිකිරීමෙන් නාමරූපයන් නැතිවේයයි, (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේද, කවරක් නැති වීමෙන් විඤ්ඤාණය නැතිවේද?” කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාර නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේ. සංස්කාර නැති කිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි සංස්කාර නැතිවේද, කවරක් නැතිකිරීමෙන් සංස්කාර නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව නැති කල්හි වනාහි සංස්කාර ඇති නොවේ. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර නැතිවේයයි (නුවණින්) අවබෝධ විය.
මෙසේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැති වීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැති වෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවෙයි. මහණෙනි, වෙස්සභූ නම් බෝසතුන්ට වනාහි නැතිවීම නැතිවීමයයි පෙර නොඇසූ කාරණයෙහි නුවණැස පහළවිය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.”
(හයවන වෙස්සභූ සූත්‍රය නිමි.)
විවරණ [0]