මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
ඉක්බිති, ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේහට මෙය කීයේය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දහම් දෙසන සේක්නම් යෙහෙකි. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව, වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවන කරා යවන ලද සිත් ඇතිව, වාසය කරන්නෙමියි” කියායි.
‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? පඨවි ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘අපෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-ස්වාමීනි, එය නුසුදුසුය.’
‘තේජෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘වායෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ආකාස ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-ස්වාමීනි, එය නුසුදුසුය.’
‘විඤ්ඤාණ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි එය නුසුදුසුය.’
‘රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවක තෙම පඨවි ධාතුවෙහිත් කලකිරෙයි. ආපෝ ධාතුවෙහි කලකිරෙයි. තේජෝ ධාතුවෙහිත් කලකිරෙයි. වායෝ ධාතුවෙහිත් කලකිරෙයි. ආකාශ ධාතුවෙහිත් කලකිරෙයි. විඤ්ඤාණ ධාතුවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලේශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමකරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළයුත්තක් නැතැයි දැනගනියි.’
(නවවෙනි ධාතු සූත්‍රය නිමි.)
විවරණ [0]