බරවීම්

පරිවර්තන [16]

ඝට සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද, රජගහනුවර සමීපයෙහිවූ, කලන්දකනිවාප නම් ලත් වේළුවනාරාමයෙහි එකම කාමරයක වාසය කෙරෙති.

ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ සවස් කාලයෙහි විවේකස්ථානයෙන් නැගී සිටියේ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් මොග්ගල්ලානය ඔබගේ ඉන්ද්‍රියෝ අතිශයින් ප්‍රසන්නවූවාහුය. මුහුණේ වර්ණය පිරිසිදු වූයේය. අතිශයින් පිරිසිදු වූයේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලානතෙම ඒකාන්තයෙන් අද ශාන්තවූ විහරණයකින් වාසය කළේය” කියායි.

“ඇවැත්නි, මම වනාහි අද ඕලාරිකවූ විහරණයකින් වාසය කෙළෙමි. මාගේ ධර්ම කථාවක් විය. ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන්ගේ ධර්ම කථාව කා සමග වූයේද?”

“ඇවැත්නි, මාගේ ධර්ම කථාව භාග්‍යවතුන් වහන්සේ හා සමග වූයේය. ඇවැත්නි, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේ දුරවූ, සැවැත් නුවර ජේතවනයෙහිවූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.”

‘කිමෙක්ද? ආයුෂ්මත් මහා මොග්ගල්ලානතෙම සෘද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේද? නැතහොත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වෙත ඍද්ධියෙන් වැඩිසේක්ද?”

“ඇවැත්නි, මම වනාහි ඍද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ කරා නොපැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ හෝ මා කරා ඍද්ධියෙන් නොවැඩිසේක. එහෙත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද ඒතාක් මාගේ දිව්‍ය ඇසද, දිව්‍ය කණද පිරිසිදු විය. මා යම් තැනෙක්හිද ඒතාක් භාග්‍යවතුන් වහන්සේ ගේත් දිව්‍ය ඇසද, දිව්‍ය කණද පිරිසිදු විය.”

“ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන්ගේ භාග්‍යවතුන් වහන්සේ හා කෙබඳු ධර්ම කථාවක් වීද?”

“ඇවැත්නි, මෙහිදී මම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයෙමි. ‘ස්වාමීනි, පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේය. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තෙක් වන්නේද?” කියායි.

“ඇවැත්නි, මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මට ‘මොග්ගල්ලානය, ශරීරයෙහි සමද, නහරද, ඇටද ඉතිරි වේවා. මස්, ලේ වියලේවා, පුරිසථාමයෙන්, පුරුෂ වීර්‍ය්‍යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු යමක් වේද, එයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ බහා තැබීමක් නොවන්නේයයි මේ ශාසනයෙහි මහණතෙම පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කෙරේ. මොග්ගල්ලානය, මෙසේ වනාහි පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ වේයයි’ වදාළේය. ඇවැත්නි, මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සමග මාගේ ධර්ම කථාව විය.”

“ඇවැත්නි, යම්සේ වනාහි කුඩාවූ කැටකැබිලිති හිමාලය පර්වත රාජයා හා සම නොවන බව දැක්වීම සඳහා උපමාවට පමණක් ගන්නේද, එසේම අපි ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් හා උපමා කිරීමට පමණක් සෑහෙන්නෙමු. ආයුෂ්මත් මහා මොග්ගල්ලානතෙමේ වනාහි මහත් ඍද්ධි ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය. (ඉදින්) කැමැත්තේ නම් ආයුෂ කල්පයක් සිටින්නේය”යි කීය.

“ඇවැත්නි, යම්සේ ලුනු කැටයක් මහත්වූ ලුනු සැළියකට උපමා කිරීම පිණිස පමණක් ගන්නේවේද එසේම වනාහි අපි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් හා උපමා පිණිස පමණක් සෑහෙන්නෙමු. ආයුෂ්මත් ශාරිපුත්‍රතෙමේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ස්තුතිකරන ලද්දේය. වර්ණනා කරන ලද්දේය. ප්‍රශංසා කරන ලද්දේය.” (කෙසේද?)

‘ශීලයෙන්, සමාධියෙන් සහ ප්‍රඥාවෙන් පරතෙරට ගියාවූ යම් මහණෙක් වනාහි වෙයිද, මේ සාරිපුත්ත තෙමේ (එයින්) ශ්‍රෙෂ්ඨ වන්නේය’ කියායි.

“මෙසේ මේ මහානාගයෝ (අනුශ්‍රාවක) දෙදෙන ඔවුනොවුන්ගේ සුභාසිතය, මනාකොට කියන ලද්ද මනාකොට අනුමෝදන් වූහ.”

(තුන්වෙනි ඝට සූත්‍රය නිමි.)

විවරණ [1]