[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන්
ඇමතූසේක.‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නො බසිත්. ගර්භනීහු නොවදත් චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්, ඉන්ද්‍ර ඛීලයක් මෙන් නිශ්චලව සිටිත්.’ යන මෙබඳු දෘෂ්ටිය උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරණසේක් නම් මැනවි.”
“මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීහ.
“ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇතිකල්හි, රූපය නිසා, රූපයට පැමිණ ‘ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්, ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටිත්’ මෙවැනි දෘෂ්ටියක් උපදියි.
“වේදනාව ඇතිකල්හි, වේදනාව නිසා, වේදනාවට පැමිණ ‘ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්, නොබසිත්, ඉන්ද්‍ර ඛීලයක්මෙන් නිශ්චලව සිටිත්’ යන මේ දෘෂ්ටිය උපදියි.
“සංඥාව ඇතිකල්හි, සංඥාව නිසා, සංඥාවට පැමිණ ‘ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්, නොබසිත්, ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටිත්’ යන මේ දෘෂ්ටිය උපදියි.
‘සංස්කාරය ඇතිකල්හි, සංස්කාරයන්, නිසා සංස්කාරයන්ට පැමිණ ‘ගංගාවෝ ගලානොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්, නොබසිත්, ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටිත්’ යන මේ දෘෂ්ටිය උපදියි.
“විඤ්ඤාණය ඇතිකල්හි විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පැමිණ ‘ගංගාවෝ ගලානොබසිත්, ගර්භනීහු නොවදත් චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්, නොබසිත්, ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටිත්’ යන මේ දෘෂ්ටිය උපදියි.
[4] “මහණෙනි, කුමක් සිතන්නහුද? රූපය නිත්‍යයද අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද වෙනස්වන ස්වභාවද, ‘එය මාගේය, ඒ මම වෙමි. ඒ මාගේ ආත්මය’යි දැක්වීමට සුදුසුද” -“ස්වාමීනි, එය නොවන්නේමය.”
“වේදනාව නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද දුකද, වෙනස්වන ස්වභාවද, ‘එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” -“ස්වාමීනි එය නොවන්නේමය”
“සංඥාව නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, ‘එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”
“සංස්කාරය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” -“ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, ‘එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”
“විඤ්ඤාණය නිත්‍යය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.
“යමක්වනාහි අනිත්‍යයද, එය දුක හෝ වෙයිද? සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, එය වෙනස්වන ස්වභාවද, ‘එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
[5] “මහණෙනි, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයක් වේද, ‘එය මාගේ නොවේය, එය මම නොවෙමි එය මාගේ ආත්මය නොවේය’යි මනා නුවණින් දැක්ක යුතුයි. අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි වේදනාවක් වේද එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේය’යි මනා නුවණින් දැක්ක යුතුයි. අතීතවූද අනාගතවූද වර්තමානවූද අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සඤ්ඤාවක් වේද, ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි’ එය මාගේ ආත්මය නොවේය’යි මනා නුවණින් දැක්කයුතුයි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංස්කාරයක්වේද, ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේය’යි මනා නුවණින් දැක්ක යුතුයි. අතීතවූද, අනාගතවූද, වර්තමාන වූද අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි විඤ්ඤාණයක් වේද, එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේය’යි මනා නුවණින් දැක්ක යුතුයි.
[6] “මහණෙනි, මෙසේ දක්නාවූ බොහෝ ඇසූපිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ රූපයෙහිද කළකිරෙයි, වේදනාවෙහිද කළකිරෙයි, සඤ්ඤාවෙහිද කළකිරෙයි, සංස්කාරයන්හිද කළකිරෙයි, විඥානයෙහිද කළකිරෙයි. කළකිරුණේ නොඇලෙයි, නොඇලුනේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය ක්ෂයවිය, බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මින්මතු කළ යුතු දෙයක් නැතැයි දැනගනියි.”
විවරණ [0]