මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, ඇස පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ ඇස කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ඇස පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ඇස කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් ඇස පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ඇස කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් ඇස පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ඇස කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් ඇස පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ඇස කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් ඇස පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ඇස කෙරෙන් මිදෙන්නාහුය.
’’මහණෙනි, කණ පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ කණ කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි කණ පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ කණ කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් කණ පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ කණ කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කණ පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ කණ කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් කණ පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ කණ කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කණ පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ කණ කෙරෙන් මිදෙන්නාහුය.
’’මහණෙනි, නාසය පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ නාසය කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි නාසය පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ නාසය කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් නාසය පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ නාසය කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් නාසය පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ නාසය කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් නාසය පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ නාසය කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් නාසය පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ නාසය කෙරෙන් මිදෙන්නාහුය.
’’මහණෙනි, දිව පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ දිව කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි දිව පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ දිව කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් දිව පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ දිව කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් දිව පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ දිව කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් දිව පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ දිව කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් දිව පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ දිව කෙරෙන් මිදෙන්නාහුය.
’’මහණෙනි, කය පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ කය කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි කය පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ කය කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් කය පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ කය කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කය පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ කය කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් කය පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ කය කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කය පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ කය කෙරෙන් මිදෙන්නාහුය.
’’මහණෙනි, සිත පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ සිත කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි සිත පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ සිත කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් සිත පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ සිත කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් සිත පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ සිත කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් සිත පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ සිත කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් සිත පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ සිත කෙරෙන් මිදෙන්නාහුය.
’’මහණෙනි, යම්තාක් කල් සත්ත්‍වයෝ මේ සවැදෑරුම්වූ අධ්‍යාත්මිකවූ ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාද වශයෙන්ද, ආදීනවය, ආදීනව වශයෙන්ද, නිස්සරණය, නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දැන නොගත්තාහුද, මහණෙනි, ඒතාක්ම සත්ත්‍වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙන්, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවෙන් නික්මුණාහු වෙන්වුනාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තවූ සිතින් යුක්තව වාසය නොකළාහුය. මහණෙනි, යම් කලක පටන් සත්ත්‍වයෝ මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දැනගත්තාහුද, මහණෙනි, එකල්හි සත්ත්‍වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙන් මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍වප්‍රජාවෙන් නික්මුණාහු, වෙන්වුනාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තව වාසය කෙරෙත්ය’’ යි වදාළ සේක.
විවරණ [0]