බරවීම්

පරිවර්තන [16]

පහාණ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල විශෙෂයයෙන් දැන, පිරිසිඳ දැන, දුරුකිරීම පිණිස තොපට ධර්‍ම දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල විශෙෂයයෙන් දැන, පිරිසිඳ දැන, දුරුකිරීම පිණිස (පවත්නා) ධර්‍මය කවරේද?

’’මහණෙනි, ඇස විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. රූපයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. චක්ඛු විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ, අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.

’’මහණෙනි, කණ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ශබ්දයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. සොත විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. සොත සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. සොත සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.

’’මහණෙනි, නාසය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ගන්‍ධයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ඝාණ විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.

’’මහණෙනි, දිව විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තීය. රසයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ජිව්හා විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.

’’මහණෙනි, කය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ස්පර්‍ශයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. කාය විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. කාය සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.

’’මහණෙනි, ඇස මඩනා ලද්දේ වෙයි. රූපයෝ මඩනා ලද්දේ වෙයි. චක්‍ෂුර් විඥානය මඩනා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද, ජාතියෙන් ජරා මරණයෙන් මඩනා ලදී. ශෝකයෙන් හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේ වෙයි.’’

’’මහණෙනි, සිත විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ධර්‍මයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. මනො විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මනො සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මනො සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මහණෙනි, මේ වනාහි සියල්ල දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්‍මය වේය’’ යි (වදාළ සේක.)

විවරණ [0]