බරවීම්

පරිවර්තන [18]

පහාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, මේ වේදනා තුනකි. ඒ කවර තුනක්ද? සැප වේදනාය, දුක් වේදනාය, සැපත් නොවූ දුකත් නොවූ වේදනාය යන තුනයි. මහණෙනි, සැප වේදනාවෙහි රාගානුසය පහ කටයුතුය. දුකඛ වේදනාවෙහි පටිඝානුසය පහ කටයුතුය. සැපත් නොවූ දුකත් නොවූ වේදනාවෙහි අවිද්‍යානුසය පහ කටයුතුය. මහණෙනි, යම් තැනෙක පටන් භික්‍ෂුවගේ සැප වේදනාවෙහි රාගානුසය ප්‍රහීණවූයේ වේද, දුක් වේදනාවෙහි පටිඝානුසය ප්‍රහීණවූයේ වේද, දුකද නැති සැපද නැති වේදනාවෙහි අවිජ්ජානුසය ප්‍රහීණවූයේ වේද, මහණෙනි, ඒ භික්‍ෂුව පහකළ රාගානුසය ඇත්තේයයිද, තෘෂ්ණාව සිංඳේය. (සංයෝජනය ලිහා දැම්මේය.) මනාකොට මානය දැක ප්‍රහීණ කිරීමෙන් දුක් කෙළවර කෙළේයයි කියනු ලැබේ.

වේදනාව සම්‍යක් ප්‍රඥාවෙන් නොදන්නාවූ නිවණ නොදක්නා සුළු සැප විඳින්නාහට ඒ රාගානුශය වේ.

වේදනාව සම්‍යක් ප්‍රඥාවෙන් නොදන්නාවූ නිවණ නොදන්නා සුළු දුක විඳින්නාහට පටිඝානුසය වේ.

මහත් ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද ශාන්තවූ උපෙක්‍ෂා වේදනාවක් වේද, ඊට හෝ සතුටුවෙත්ද, හෙතෙම දුකින් නොමිදේ.

යම් කලක පටන් කෙලෙස් තවන මහණතෙමේ සම්‍යක් ප්‍රඥාව අත්නොහරීද, එතැන් සිට ඒ පණ්ඩිතතෙම සියළු වේදනාවන් මනාසේ දනී.

හෙතෙම වේදනාවන් සම්‍යක් ප්‍රඥාවෙන් දැන මෙලොව ආශ්‍රව රහිතවූයේ, ධර්‍මස්ථවූයේ වේදයන්හි පරතෙරට ගියේ කරජකායයාගේ බිඳීමෙන් රාග ඇත්තෙක, දොෂ ඇත්තෙක, මොහ ඇත්තෙක යන සංඛ්‍යාවට නොපැමිණෙයි.

විවරණ [1]