බරවීම්

පරිවර්තන [26]

සල්ල සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම සැප වේදනාවද විඳී. දුක් වේදනාවද විඳී. උපෙක්‍ෂා වේදනාවද විඳී. මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සැප වේදනාවද විඳී. දුක් වේදනාවද විඳී. උපෙක්‍ෂා වේදනාවද විඳී. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේද ඒ වේදනා විඳීමෙහි විශේෂය කවරේද, අදහස කවරේද, වෙනස්කම කවරේද?

’’ස්වාමීනි, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙතොත් හොඳය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා මේ කීමේ අදහස දරන්නාහුය.

’’මහණෙනි, එසේ වී නම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි, යි වදාළ සේක.

’’එසේය ස්වාමීනි,, කියා ඒ භික්‍ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ (එවිට) මෙය දේශනා කළසේක.

’’මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම දුකඛ වේදනාවක් පැමිණිකල ශොක කරයි. ක්ලාන්ත වෙයි. විලාප කියයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙම කායික දුකක්ද, මානසික දුකක්ද විඳියි. මහණෙනි, යම්සේ හුලකින් අනිනලද පුරුෂයාට දෙවෙනි හුලකිනුත් අනින්නාහුද, මහණෙනි, එසේ පුරුෂතෙම උල් දෙකකින් වේදනා විඳින්නේය. මහණෙනි, එසේම අශ්‍රුතවත් පෘථග්ජනතෙම දුකඛ වේදනාවක් පැමිණිකල ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙම කායික වූද මානසික වූද විඳීම් දෙකක් විඳියි. ඒ දුක් වේදනාවෙන් මඩනා ලද්දාවූ හෙතෙම ක්‍රොධ ඇත්තෙක් වෙයි. දුක් වේදනාව කරණකොටගෙන ක්‍රොධ සහිතවූ ඔහුට දුක් වේදනාවෙහි උපදනා ක්‍රොධානුසය නැවත නැවත උපදියි. දුක් වේදනාවක් ඇතිවූ හෙතෙම කම් සැපට ආශා කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම කම්සැප හැර දුක් වේදනාවෙන් නික්මීමක් නොදනී. කම් සැපයට ආශා කරන්නාවූ ඔහුට සැප වේදනාවෙහි උපදනා යම් රාගානුශයක් වේද, එය නැවත නැවත උපදියි. හෙතෙම ඒ වේදනාවන්ගේ හටගැනීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද, තත්වූ පරිද්දෙන් නොදනී. ඒ වේදනාවන්ගේ හටගැන්මද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද, තත්වූ පරිද්දෙන් නොදන්නාවූ ඔහුට උපෙක්‍ෂා වේදනාවන්හි හටගන්නා යම් අවිද්‍යානුශයක් වේද, එය නැවත නැවත උපදියි. හෙතෙම සැප වේදනාවක් විඳීනම් කෙළෙසුන්ගෙන් යුක්තවම එය විඳියි. දුක් වේදනාවක් විඳීනම් කෙළෙසුන්ගෙන් යුක්තවම එය විඳියි. දුක්ද නුවූ, සැපද නුවූ, වේදනාවක් විඳීනම් කෙළෙසුන්ගෙන් යුක්තවම එය විඳියි. මහණෙනි, මේ අශ්‍රුතවත් පෘථග්ජන තෙමේ ජාති, ජරා, මරණ, සොක, පරිදෙව, කායික දුක්, මානසික දුක්, දැඩි වෙහෙසවීම් වලින් යුක්ත වූයේය, දුකින් යුක්ත වූයේයයි කියමි, යි වදාළසේක.

’’මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දුක් වේදනාවක් පැමිණිකල සෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවේ අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. හෙතෙම කායිකවූ එක් වේදනාවක් විඳියි. මානසික වේදනාව නොවිඳියි. මහණෙනි, යම්සේ එක් හුලකින් ඇනුම් කෑ පුරුෂයෙකු, දෙවෙනි හුලකිනුත් නොඅනින්නාහුද, මහණෙනි, එසේ ඒ පුරුෂතෙම එක් හුලකින් වේදනාව විඳින්නේය. මහණෙනි, එසේම ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම දුක් වේදනාවක් පැමිණිකල ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප නොකියයි. පපුවේ අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. හෙතෙම කායික වූ එකම වේදනාවක් විඳියි. මානසික වේදනාව නොවිඳියි. ඒ දුකඛ වේදනාව කරණකොට ක්‍රොධ ඇත්තෙක් නොවෙයි. දුකඛ වෙදනාව නිසා ක්‍රොධයෙන් තොර ඔහුට දුක් වේදනාවෙහි උපදනා යම් ක්‍රොධානුශයක් වේද, ඒ අනුසය නැවත නූපදියි. හෙතෙම දුකඛ වේදනාව පැමිණි කළ කම් සැප නොකැමැති වෙයි. ඊට හේතු කවරේද, මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කම් සැපෙන් වෙන්ව දුකින් නික්මීම දනී. කම් සැපට ප්‍රිය නොවන්නාවූ ඔහුට සැප වේදනාවෙහි යම් රාගානුසයක් වේද, එය නැවත නැවත නූපදියි. හෙතෙම ඒ වේදනාවන්ගේ පහළවීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද, තත්වූ පරිද්දෙන් දනී. ඒ වේදනාවන්ගේ හටගැනීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද, තත්වූ පරිද්දෙන් දන්නා ඔහුට උපෙක්‍ෂා වේදනාවෙහි යම් අවිද්‍යානුශයක් වේද, එය නැවත නැවත නූපදියි. හෙතෙම සැප වේදනාවක් විඳීනම් එය කෙළෙසුන්ගෙන් වෙන්වම විඳියි. දුක් වේදනාවක් විඳීනම් එය කෙළෙසුන්ගෙන් වෙන්වම විඳියි. උපෙක්‍ෂා වේදනාවක් විඳීනම් එය කෙළෙසුන්ගෙන් වෙන්වම විඳියි.

’’මහණෙනි, මේ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ජාති, ජරා, මරණ, සොක, පරිදෙව, (කායික) දුක්, මානසික දුක්, දැඩි වෙහෙසීම්වලින් වෙන්වූයේයයි කියනු ලැබේ. දුකින් මිදුණේයයි කියමි. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ වෙනසයි. මේ අදහසයි. මේ වෙන් කිරීමයි.,

බහුශුැතවූ ඥානවන්තයා සැප වේදනාවද දුක් වේදනාවද නොවිඳියි. පෘථග්ජනයා හා දක්‍ෂවූ ඥානවන්තයාගේ මේ මඟ වෙනස්වෙයි.

මෙලොවද, පරලොවද නුවණින් දක්නා තීරණය කරණ ලද ධර්‍මය ඇති බහුශ්‍රුතයාගේ සිත ඉෂ්ටාරම්මණයෝ කම්පා නොකරත්. අනිෂ්ටාරම්මණය හේතුකොටගෙන ද්වේෂයටද නොපැමිණෙයි.

ඇලීම හේතුකොටගෙන හෝ කිපීම හේතුකොටගෙන හෝ ඔහුගේ අර්‍ථයෝ විනාශ නොවෙත්. භවයාගේ පරතෙරට ගියාවූ හෙතෙම කෙළෙස් මළ රහිතවූ ශෝක නොකරන්නාවූ නිර්‍වාණ පදය මනාව දන්නේය.’’

විවරණ [1]