බරවීම්

පරිවර්තන [14]

වස්සවුත්ථ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එකල සැවැත්නුවර වස්විසූ භික්ෂුවක් යම්කිසි කටයුත්තක් සඳහා කිඹුල්වත් පුරයට පැමිණියේ වෙයි. සැවැත්නුවරට වස්විසූ කිසියම් භික්ෂුවක් කිඹුල්වත් පුරයට පැමිණියේයයි කිඹුල්වත්පුර වාසී ශාක්‍යයෝ ඇසූහ. එකල කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ ඒ භික්ෂුව යම්තැනෙක්හිද, එතැනට ගියාහුය. එහි ගොස් ඒ භික්ෂුව වැඳ එක්පසෙක හුන්නාහ. එක්පසෙක හුන්නාවූ කිඹුල්වත්පුර වාසී ශාක්‍යයෝ ඒ භික්ෂුවට මේ කාරණය කීහ.

‘ස්වාමීනි, කිමෙක්ද? භාග්‍යවතුන්වහන්සේ නිරෝගිද, ශක්තිමත්ද?”

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නිරෝගිද ශක්තිමත්ද වෙති.”

“කිමෙක්ද? ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ නිරෝගිද ශක්තිමත්ද?”

“ඇවැත්නි, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ නිරෝගිද ශක්තිමත් වෙති.”

“කිමෙක්ද? ස්වාමීනි, භික්ඛු සංඝයා වහන්සේ නිරෝගිද ශක්තිමත්ද?”

“ඇවැත්නි, භික්ඛු සංඝයා වහන්සේ නිරෝගිද ශක්තිමත්ද වෙත්.”

“ස්වාමීනි, ඔබ වහන්සේ විසින් මේ වස් කාලය තුළ භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් අසන ලද (භාග්‍යවතුන් වහන්සේගේ) හමුවෙන් පිළිගන්නා ලද කිසිවක් ඇත්තේද?”

“ඇවැත්නි, මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් මේ කාරණය අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් මෙය පිළිගන්නා ලදී. (කුමක්ද?) ‘මහණෙනි, යම් භික්ෂූ කෙනෙක් කෙලෙසුන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයේදීම තුමූම විශිෂ්ට ඥානයෙන් දැන ඊට පැමිණ වාසය කෙරෙත්ද, ඒ භික්ෂූහු ස්වල්ප වෙති. යම් ඒ භික්ෂූ කෙනෙක් ඔරම්භාගිය සංයොජන පස නැසීමෙන් ඕපපාතික වූවාහු ඒ බඹලොවින් නැවත කාමලොකයට නොඑන එහිම පිරිනිවෙන අනාගාමීහු වෙත්ද, ඔව්හුම බොහෝවෙත්’ යනුයි.

“ඇවැත්නි, මා විසින් වනාහි වෙනත් කරුණක්ද භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. සමීපයෙන් පිළිගන්නා ලදී. ඒ කුමක්ද? ‘යම් ඒ භික්ෂූ කෙනෙක් ඔරම්භාගිය සංයොජන පස නැසීමෙන් ඕපපාතිකව එහිම පිරිනිවෙන නැවත කාම ලොකයට නොඑන අනාගාමීහු වෙත්ද, ඔව්හු ස්වල්ප වෙති. යම් කෙනෙක් ත්‍රිවිධ සංයොජනයන් නැසීමෙන් රාග දොෂ මොහයන් තුනී කිරීමෙන් නැවත එක්වරක්ම කාම ලොකයට අවුත් පිරිනිවෙන සකෘදාගාමීහු වෙත්ද, ඔව්හුම ඉතා බොහෝ වෙත්.’

“ඇවැත්නි, මා විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් අනික් කරුණක්ද අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ වෙතින් පිළිගන්නා ලදී, ‘යම් භික්ෂු කෙනෙක් සංයොජන තුනක් තුනී කිරීමෙන් රාග දොෂ මෝහයන් තුනීකොට උත්පත්ති වශයෙන් නැවත වරක් මේ කාම ලොකයට පැමිණෙන්නාවූ සකෘදාගාමීහු වෙත්ද, ඔව්හු ස්වල්ප වෙත්. යමෙක් තුමූ සංයොජන තුනක් නැසීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියත ගති ඇත්තාවූ මතුමාර්ගඥාන බොධිය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූවාහු වෙත්ද, ඔව්හුම අතිශයින් බොහෝවෙතියි” වදාළසේක.

විවරණ [0]