බරවීම්

පරිවර්තන [15]

කොකාලික සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු මහසිටාණන් කරවූ ජෙතවන ආරාමයෙහි වාසය කරණසේක. (අංගුත්තර නිකායේ දශක නිපාතයේ ථෙර වර්ගයේ 39 කොකාලික සූත්‍රය යොදා ගත යුතුයි. (පිටු 1694) එහි නොමැති කොටස පමණක් මෙහි දැක්වේ.)

“බොරුකියන්නා නරකයෙහි උපදී. යම් කිසි කෙනෙක් පව් කොට නොකෙළෙමි කීයේද ලාමක කම ඇති ඒ මනුෂ්‍යයෝ දෙදෙන පර ලොවෙහිද එක සමාන වෙත්.

“යම් කිසි කෙනෙක් පිරිසිදුවූ පව්නැති පුරුෂයාට ද්වෙෂ කෙරේද, යටි සුළඟට දැමූ දූවිලිමෙන්, ඒ බාලයා කරාම පාපය ආපසු එයි.

“යම්කිසිවෙක් ලෝභයෙන් යුක්ත වූයේද, ශ්‍රද්ධාව නැත්තේද, තද ලෝභද, යාචකයන්ගේ වචන නොදන්නේද, මසුරුද කේලාම් කීමෙහි යෙදුනේද, හෙතෙම අන්‍යයන්ට වචනයෙන් නින්දා කරයි.

“විෂම මුඛයක් ඇති පුද්ගලය, බොරු කියන තැනැත්ත, අසත් පුරුෂය, අභිවෘද්ධිය නසන තැනැත්ත, අන්තිම පුරුෂය, ඉලක්කයක් නොමැති පුරුෂය, අවජාත පුත්‍රය, නපුරුකම් කරන තැනැත්ත, මෙහි වැඩිපුර කථා නොකරව.

නිරිසතෙක් වෙහිද, පුරුෂයන්ට ගරහන නපුරු පව් කරණ තැනැත්තේ කෙලෙස් වගුරුවන්නේය. බොහෝ දුශ්චරිතයන්හි හැසිර බොහෝ කාලයක් ප්‍රපාතයට යන්නෙහිය.

“කිසිවෙකුගේ කර්මය නසින්නේ නොවේ. ඒ කුශලාකුශල කර්මය ස්වාමියා ලබන්නේමය. නපුරුකම් කරණ බාලයා දුක තමා කෙරෙහි දකියි.

“(නිරයෙහි යමපල්ලෝ) යකඩ අකුස්සෙත් ගසන ලද තන්හි තියුණු තළ නැමැති උල් ගසත්. නැවත රත් වූ ලෝ ගුලි වැනි භෝජන එහි ඇත්තේය.

“යමපල්ලෝ යහපත් වචන කථා නොකරත්. ආදරයෙන් ඉදිරියට නොපැමිණෙත්. ආරක්‍ෂාවට නොපැමිණේ. තුනී කළ අඟුරු උඩ නිදවත්. වටේට දැවෙන ගින්නෙහි ප්‍රවේශ කරවත්.

“යකඩ දැල් වලින් වෙලා මුව වැද්දෝ මුවෙකුට මෙන් වධ කරත්. අන්ධයෙකු වැනි ඔහු හිම මෙන් පැතුරුණු අන්ධකාරයට ගෙනයත්.

“නැවත දැල්වෙන ගිනි සමාන ලෝහයෙන් කළ මහා සැළියකට ඇතුලු කරවත්. ගිනි සමාන එහි උඩයට යමින් එමින් පැසෙත්.

“නැවත සැරව ලේ මිශ්‍රවූ, ලොහ සැලියෙහි පව් කළ තැනැත්තේ කුමකැයි පැසෙන්නේද, යම් යම් දිශාවකට යේද, ඒ සැරවින් ලෙයින් තැවරුනේ, කුණුවේ.

“පණුවන් වසන ඒ සැළියෙහි වූ ජලයෙහි පව් කළ ඒ තැනැත්තා පැසෙනු පමණක්ද, උඩ පියනත්, වසන ලද බැවින් පහව යන්නට තැනක් නැත.

“තියුණුවූ කඩුපත් වනයක් ඇත්තේය. සිඳුණු සිරුර ඇති ඔහු එහි ප්‍රවේශ කරවත්. බිලීකටු වෙන් දිව ඇද හඬවමින් විනාශ කරත්.

“නැවත උණුවූ කකියන ජලය සමග තියුණු දැලි පිහිතල ඇති වෙතරණි නම් ගඟක් ඇත. එහි පමුණුවත්, පව් කළ බාලයෝ පව් කොට එහි වැටෙත්.

“එහි නිල් පාට ඇති ශක්තිමත්, බල්ලෝද, අඬවමින් කත්. බඩ සා ඇති කපුටු සමූහය හා සිවල්ලුද, උකුස්සෝද කවුඩෝද, කා හප කරත්.

“මේ නරකයන්හි විසීම දුකකි. පව් කරණ යම් කෙනෙක් දකීද මේ ඉතිරි ජීවිතයෙහි කුශල ධර්ම කරන්නෙක් වන්නේය. මනුෂ්‍ය තෙමේ ප්‍රමාද නොවන්නේය.

“ගණිත දන්නන් විසින් පදුම නරකයට දක්වන යම් තල ගැල් ගණනක් වේද කෝටිනහුතයක්ද, දොළොස් කෙළක්ද, නැවත අනික් දොළොස් කෝටියක්ද වෙත්.

“මෙහි දක්වන ලද යම් පමණ දුක්වූ නරක වේද එහි ද බොහෝ කාලයක් විසිය යුතුය.”

කොකාලිකසුත්තං දසමං නිට්ඨිතං.

විවරණ [1]