“ජනයාගෙන් වෙන්වූ, නිශ්ශබ්දවූ, වල්සතුන් විසින් සෙවුනාලද සෙනසුන භික්ෂුව විසින් හිත මනාකොට පිහිටුවා ගැණීමට සේවනය කටයුතුය.
“කසල ස්ථානයෙන් හෝ සොහොන් පිට්ටනියෙන් හෝ වෙන අන් තැනකින් හෝ ගනුලබන රෙදි කැබලිවලින් මසාගන්නාලද රූක්ෂ චීවරයක් දැරිය යුතුයි.
“නිහතමාන සිතින් යුක්තව පිළිවෙළින් භික්ෂුතෙමේ වසනලද සදොර ඇතුව මනා සංවරයෙන් යුක්තව පිඬු පිණිස හැසිරිය යුතුය.
“ස්වල්පවූ දෙයින්ද සතුටු වියයුතුය. අන්‍යවූ මිහිරි බොහෝ දේවල් බලාපොරොත්තු නොවිය යුතුය. රසයෙහි ගිජුවූ පුද්ගලයාගේ සිත ධ්‍යානයෙහි නොඇලේ.
“ඥානවන්ත පුද්ගලයා ස්වල්ප ආශා ගුණයෙන්ද, යථාලාභාදී වශයෙන් පවත්නා සන්තොෂ ගුණයෙන්ද, හුදකලා වාසයෙන්ද වෙසෙයි. ඒ ඥානවන්ත පුද්ගලයා ගිහියන් හා පැවිද්දන් සමගත් එකතුවීම් නැති වූයේ වෙසෙයි.
“තමා ගොළු බිහිරි නොවූයේම, ගොළු බිහිරි භාවය පෙන්නුම් කළ යුතුය. පණ්ඩිතතෙම සංඝයා සමගද මද පමණට බිණියයුතුය.
“කියනලද පිළිවෙතින් යුක්තවූ භික්ෂුව කිසිවෙක්හට අපවාද නොකටයුතුය. කයින් වෙහෙසීමද නොකළයුතුය. ප්‍රාතිමොක්ෂ සංවරයෙන් යුක්තවිය යුතුය. ඔහු විසින් භොජනයෙහිද පමණ දැනගත යුතුය.
“මනාකොට ගන්නාලද නිමිති ඇත්තෙක්ව යහපත් සිතිවිලි ඉපදවීමෙහි දක්ෂයෙක්ව සමථ භාවනාවෙහි යෙදිය යුතුය. සුදුසු කාලයෙහි විදර්ශනා භාවනාද වැඩිය යුතුය.
“ඒ පණ්ඩිත භික්ෂුව නිතර පවත්නා වීර්යයෙන් යුක්තව හැමකල්හි භාවනානුයෝගීව විසිය යුතුය. දුක් කෙළවර නොකොට විශ්වාසයකට නොපැමිණිය යුතුය.
“මෙසේ විවේක සෙනසුන්හි වාසය කරන්නාවූද, ඥානදර්ශන විශුද්ධිය කැමැත්තාවූද, භික්ෂුවගේ සියලු ආශ්‍රවයෝ ක්ෂය බවට යෙත්. (නැතිවෙයි) හෙතෙම දෙයාකාරවූ නිවනටම පැමිණෙයි.”
... උපසෙනො වඞ්ගන්තපුත්තො ථෙරො....
විවරණ [1]
Русский