බරවීම්

පරිවර්තන [12]

සංකිච්ච ථෙර ගාථා

“දරුව, ඔබවහන්සේට මේ වෙනෙහි විසීමෙන් කවර ප්‍රයෝජනයක්ද? උජ්ජුවාන පර්වතය වේරම්බ වාතය නිසා රමණීයයි ඔබවහන්සේට එහි ධ්‍යාන කළ හැකියි.

“වළාකුල් වේරම්බ වාතය උපදවා නම් මගේ සිත විවේකයටම ඇදෙයි.

“කාලවර්ණවූද බිජුවටින් උපන්නාවූද කාකතෙම සුසානස්ථානයෙහිම ස්වකීය නිවාසස්ථානය කොට වෙසේද, එසේම මමද ශරීරය අනුව බලන සිහියෙන් යුක්තව වෙසෙමි.

“යම් පැවිද්දෙක් සේවකාදී අනිකෙකු විසින් නො රකීද, එසේම අන්‍යයෝද පළිබෝධ අවස්ථාවන්හිදී නොරකී. ඉදින් භික්ෂුව කාමයන්හි අනපේක්ෂකවූයේ නම් සැපසේ වෙසෙයි.

“සිහිල්වූ ගල්ද, ගෝන මුවාදී සතුන්ද, දිය සෙවෙලින් යුක්තවූ ජලයද, ඇති ඒ වනයෝ මට ප්‍රිය කරයි.

“මම පෙර වනයන්හිද, කඳු ගුහාවලද, වල් සතුන් ඇසුරු කළ ප්‍රාන්ත සෙනසුන්වලද, විසුවෙමි.

“මොවුන් විනාශයට පැමිණෙත්වා. දුකට පැමිණෙත්වා, වධයට පැමිණෙත්වා, යන අනාර්යවූ දොස් සහිතවූ කල්පනාවෝ මම නොදනිමි.

“මා විසින් ශෘස්තෲන්වහන්සේ ඇසුරු කොට පුරුදු කරනලද ධර්මය ඇත්තෙක්ව බුදුන්ගේ අනුශාසනාවට අනුව කටයුතු කරනල දී. ගරුකවූ පඤ්චස්කන්ධ බර බහා තැබීමි. භවයාගේ කෙළවර විනාශ කෙළෙමි.

“යම් අර්ථයක් නිසා ගිහිගෙයින් නික්ම ප්‍රව්‍රජ්‍යාවට පැමිණියේද, මා විසින් සියලු සංයෝජන නසා ඒ අර්ථය සිදු කෙළේය.

‘මම ජීවිතයද මරණයද කැමති නොවෙමි. කර්මාන්ත කරන්නෙක් ඒ කර්මාන්තය අවසන් කළා සේ පිරිනිවන්පාන කාලය බලාපොරොත්තුවෙමි.

“මම ජීවිතයද මරණයද බලාපොරොත්තු නොවෙමි. නුවණිනුත් සිහියෙනුත් යුක්තව පිරිනිවන් කාලය බලාපොරොත්තු වෙමි.”

... සංකිච්චො ථෙරො....

එකාදසනිපාතො නිට්ඨිතො.

විවරණ [2]