බරවීම්

පරිවර්තන [12]

ගොදත්ත ථෙර ගාථා

“යම්සේ කරත්තයේ බැඳි ඉසිලීමට සමත්වූ ශ්‍රෙෂ්ඨවූ ගවයා මහත් බරින් මඩනා ලද්දේද කරත්තයේ බැඳීම අත්නොහරියි.

“එසේම ජලයෙන් සමුද්‍රය තෘප්තිමත් නොවන්නාක් මෙන් ලෞකික ලොකොත්තර ප්‍රඥාවෙන් තෘප්තිමත් නොවන්නාවූ පුද්ගලයාද අනුන් පහත්කොට නොසලකයි. සත්වයින්ට ආර්ය ධර්මය සැප පිණිස පවතී.

“සුභික්ෂ කාලය හා දුර්භික්ෂ කාලයට පැමිණියාවූද, දියුණුවට හා පරිහාණියට පැමිණියාවූද මනුෂ්‍යයෝ දුකට පැමිණෙත්. මේ ලෝකයෙහි ඒ මනුෂ්‍යයෝ ශෝක කරත්.

“සැප හේතූන් නිසා උසස් භාවයටද දුක් හේතූන් නිසා පහත් භාවයටද යන කරුණු දෙකෙන් අඥාන සත්වයෝ තත්වූ පරිදි නොදැනීමෙන් වෙහෙසට පත්වෙයි.

“යම්බඳුවූ ආර්යයෝ වෙත්ද, සැපදුක් දෙකෙහිදීම මධ්‍යස්ථව සිටීමෙන් නුවර දොර සිටවූ ශක්තිමත් කණුවක් මෙන් නොසැලී සිටී. ඒ උත්තමයෝ උසස් බවට හා පහත් බවට නොපැමිණෙත්.

“එසේම ලාභයෙහිද, අලාභයෙහිද කීර්තියෙහිද අපකීර්තියෙහිද නින්දාවෙහිද, ප්‍රශංසාවෙහිද, සැපයෙහිද, දුකයෙහිද, වෙනස් නොවෙයි.

“ඒ රහතුන් වහන්සේලා රූපාදී සියලු විෂයයන්හි නොඇලෙත්. නෙළුම් කොළෙයෙහි දිය නොරැඳෙන්නාක් මෙනි. ඒ වීරවරයෝ සෑමතන්හිම සුවපත්වද සෑම තන්හිම නොපැරදීද වෙසෙත්.

“ධර්මයෙන් ලබන අලාභයත්, අධර්මයෙන් ලබන ලාභයත් යන දෙකින් ධාර්මික අලාභය ශ්‍රෙෂ්ඨ වශයෙන් සලකයි. අධර්මයෙන් ලබන ලාභය ශ්‍රෙෂ්ඨකොට නොසලකයි.

“අඥානයින්ගෙන් ලබන කීර්තියක් වේද, ඥානවන්තයින්ගෙන් ලබන අපකීර්තියක්වේද, ඒ දෙකින් ඥානවන්තයින්ගේ අපකීර්තිය ශ්‍රෙෂ්ඨ වශයෙන් සලකයි. අඥානයින්ගෙන් ලබන කීර්තිය ශ්‍රෙෂ්ඨකොට නොසලකයි.

“මෝඩයින්ගෙන් ප්‍රශංසාවකුත්වේද, ඤානවන්තයින්ගෙන් ලබන ගර්හාවකුත්වේද, ඒ දෙකෙන් ඤාණවන්තයින්ගෙන් ලබන ගර්හාව ශ්‍රෙෂ්ඨකොට සලකයි. අඥානයින්ගෙන් ලබන ප්‍රශංසාව ශ්‍රෙෂ්ඨකොට නොසලකයි.

“කාමවස්තු නිසා සැපයකුත්වේද, විවේකය නිසා ලබන දුකකුත්වේද, ඒ දෙකින් කාමයෙන් ලබන සැපයට වඩා විවේකයෙන් ලබන දුක ශ්‍රෙෂ්ඨකොට සලකයි.

“අධර්මයෙන් ලබන ජීවිකාවකුත්වේද, ධර්මයෙන් ලබන මරණයකුත් වේද, ඒ දෙකෙන් අධර්මයෙන් කරන ජීවිකාවට වඩා ධර්මයෙන් ලබන මරණය ශ්‍රෙෂ්ඨකොට සලකයි.

“අනුරොධ, විරොධ දුරුකිරීමෙන් ශාන්තවූ සිත් ඇති ක්ලෙශ පරිඩාහයෙන් දුරුවූ ආර්යයන් වහන්සේලා තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් තොරව ලොකයෙහි හැසිරෙත්. උන්වහන්සේලාට ප්‍රිය වස්තු හා අප්‍රිය වස්තූන්ද නැත.

“බොජ්ක්ධංග ධර්මයන්ද, ඉන්ද්‍රිය ධර්මයන්ද, බල ධර්මයන්ද, වඩා පරම ශාන්තියට පැමිණ ආශ්‍රව නැති කළ ආර්යන් වහන්සේලා පරිනිර්වාණය කරන්නාහුය.”

... ගොදත්තො ථෙරො....

චුද්දසකනිපාතො නිට්ඨිතො.

විවරණ [1]