බරවීම්

පරිවර්තන [12]

මහාමොග්ගල්ලාන ථෙර ගාථා

“ආරණ්‍යකවුද පිණ්ඩපාතිකවූද ගෙපිළිවලින් පිඬු සිඟීමෙහි ඇලුනාවූ අප විසින් ආධ්‍යාත්මය තැන්පත්කොට මාරසේනාව සිඳිමු.

“ආරණ්‍යකවූද පිණ්ඩපාතිකවූද ගෙපිළිවෙලින් පිඬු සිඟීමෙහි ඇලුනා අපි ඇතෙක් බටකොළ සෙවිලි කරන ගෙයක් විනාශ කරන්නාක් මෙන් මාරසේනාව සිඳිමු.

“වෘක්ෂමූලිකවූද භාවනාවෙහි වීර්යවන්තවූද පඤ්චචරියාවෙහි ඇලුනාවූද අපි ඇතෙක් බටකොළ ගෙයක් විනාශ කරන්නාක් මෙන් මරසෙනග විනාශ කරමු.

“ඇටසැකිලි කුටියක් බඳුවූද නහරවැල්වලින් වෙලන ලද්දාවූද දුගඳ හමන අසූචියෙන් පිරුණාවූද තොපට ගර්හා වේවා. අනුන් පිළිබඳ ශරීරයෙහිද මෙබඳු තත්ත්වයක් පවත්නා නිසා කවර මම බයක්ද?

“අසූචි ඇති අතක් හා සමානවූද සමින් වසන ලද්දාවූද පිසාචයෙක් බඳුවූද තොපගේ ශරීරයෙහි හැමකල්හි නව දොරකින් වෑහෙන කුණු ඇත්තේය.

“දිය පහරවල් නවයක් ඇත්තාවූද දුගඳහමන්නාවූද සමින් බඳනාලද්දාවූද ශරීරය පිරිසිදුබව කැමැත්තෙක් කුණක් දැක පිළිකුල් කරන්නාක් මෙන් භික්ෂුව විසින් දුරුකට යුතුය.

“අසූචි ගොඩක්වූ මේ ශරීරය මා දන්නාක් මෙන් මහජනයාත් දකිත් නම් දුරින්ම දුරුකරන්නේය. අපිරිසිදු අසූචිවලක් දුරුකරන්නාක් මෙනි.

“ශ්‍රමණයන්වහන්ස, ඔබ යමක් කියන්නෙහි නම් එය එසේමය. ඇතැමෙක් මෙහි වාසය කෙරෙත්ද මඩගොහොරුවක එරීගිය මහළු ගවයෙකු මෙන් විපතට පත් වන්නේය.

“යමෙක් අහසෙහි ලාක්ෂා රසයෙන් සිතියම් කරන්නෙමියි අදහස් කරන්නේද ඒ වෙහෙසක් පිණිසම පවතී.

“ඒ ආකාසය සමවූ සිත මනාකොට හික්මවාගන්නා ලද්දේ පාපයෙන් වලක්වා ගන්නා ලද්දේ නොවේ නම් ගින්නකින් මෙන් අනර්ථයක් නොවන්නේය.

“අසූචි වැගිරෙන මේ ශරීරය සිතින් සිතියම් කරන ලද්දක් මෙන් පවතින නමුත් නොයෙක් රෝග ව්‍යසනයන්ට ගොදුරු වන්නේය. මෙහි ස්ථිර බවක්ද නැත.

“මාණික්‍යාදි ආභරණ විශෙෂයන්ගෙන් විසිතුරු කරන ලද්දාවූද ඇට සහ සමෙනුත් යුක්තවූද වස්ත්‍රයන්ගෙන් ශොභා සම්පන්න මේ ශරීරය බලව.

“ලාකඩ වතුර රැඳවූ විලේපනවලින් ඔපකරන ලද මුඛයක් ඇති මේ ශරීරය අඥාන පුද්ගලයාගේ මුලාවට හේතු වෙයි. නිවන් සොයන්නහුට මුලාවට කාරණයක් නොවේ.

“අෂ්ටපදාකාරයෙන් කරනලද කෙස් ඇත්තාවූද, අඳුන් තැවරූ ඇස් ඇත්තාවූද මේ ශරීරය අඥානයාගේ මුලාවට හේතුයි. නිවන් සොයන්නහුගේ මුලාවට හේතුවක් නොවේ.

“අලංකාර කරනලද මේ කුණු කය මාලාකර්ම දන්තාදියෙන් විසිතුරුය. ඒ බාලයාගේ මුලාවට හේතුවක් වෙයි.

“වැද්දා මුවා මැරීමට උගුල අටවා කෑම දමාතැබුවේද, දක්ෂ මුවෙක්වූ මම මිගබන්ධකයන් හඬද්දී පලාගියෙමි.

“වැද්දාගේ පාසය සිඳ දමනලදී. රන් රුවන්ද, ස්ත්‍රී සමූහයාද නමැති ඒ පාසයට අසුනොවීමි. පාසය ළඟ තැබූ කෑම පමණක් ගෙන මිගලුද්දකයන් හඬද්දීම ගියෙමි.

“ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි අනේක ප්‍රකාරවූ බිය ජනකවූද රෝමෝද්ගමනය වන්නාවූද ආරම්මන ඇතිවූවාහුය.

“ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. ඉපදීම හා මැරීම ස්වභාවකොට ඇත්තාහුය. ඉපිද නැති වෙත්. ඔවුන්ගේ සංසිඳීම සැපයි.

“රාත්‍රියෙහි විදුලි එළියෙන් අස්ලොමකට විදින්නාක් මෙන් තමාගේද අනුන්ගේද පඤ්චස්කන්ධය සියුම් වශයෙන් අවබොධ කටයුතුය.

“යමෙක් වනාහි තමාගේද අනුන්ගේද නොවන්නාවූ සංස්කාර ධර්මයන් තත්වූ පරිදි අවබොධකොට දකීද, ඒ දැකීම විදුලි එළියෙන් අස්ලොමක් දකින්නාක් වැනි සියුම්ය.

“ආයුධයකින් ගසන ලද පහරින් සිදිනු ලබන හිසක් මෙන් කාමරාගය දුරුකිරීමට භික්ෂුව සිහියෙන් උත්සාහවත් වියයුතුය.

“ආයුධයකින් ගැසූ පහරක් ඇති සිඳිනු ලබන හිසක් මෙන් සිහියෙන් යුක්තව භික්ෂුව භවරාග නැති කිරීමට උත්සාහ කළයුතුය.

“භාවිතවූ අන්තිම ශරීරය දරන්නාවූ බුදුන් විසින් චොදනා කරනු ලැබ මිගාරමාතු පාසාදය පාදංගුලියෙන් කම්පනය කරන ලදහ.

“වීර්යය සිහිල් නොකොට ස්වල්පවූ වීර්යයකින් සියලු ගැට මුදන නිර්වාණාධිගමය නොකොට හැකිය.

“මේ ළදරු භික්ෂුව උත්තම පුරුෂයෙක් වන්නේය. මාරසේනාව සිඳ දමා අන්තිම ශරීරයද සිඳදමයි.

“වේභාරව, පාණ්ඩව යන පර්වත විවරයන්ගෙන් පතිත වන විදුලියක් මෙන් බබළන සමානයකු නැති තාදී ගුණයෙන් යුක්තවූ බුද්ධ පුත්‍රතෙම පර්වත විවරයන්හි ධ්‍යාන කරයි.

“උපශාන්ත ගුණයන්ගෙන් යුක්තවුනාවූද එහිම ඇලුනාවූද ඤාණවන්තයා බුදුන්ගේ දායාදයක් බඳුවූ සුදුසු සේනාසනය ලැබ බ්‍රහ්මයාගෙන්ද නමස්කාර ගනිමින් වෙසෙයි.

“උපශාන්ත ගුණයන්ගෙන් යුක්තවුනාවූද එහිම ඇලුනාවූද ඤාණවන්තවූද කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ බුද්ධදායාදයක්වූ සුදුසු සෙනසුන ලැබ වෙසෙයි. බ්‍රාහ්මණය, උන්වහන්සේට වඳුව.

“යමෙක් මනුෂ්‍යයන් අතර නැවත නැවතත් ජාති සියයක් ලැබුවේද, ඒ සියලුම ජාතිවල ඤාණසම්පන්නවූ සොත්ථිය නම් බ්‍රාහ්මණ කුලයන්හිම උපන්නේය.

“ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණි අජ්ක්ධායවූ (ත්‍රිවේද දරණ) ඒ මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ කරනු ලබන වන්දනාවක් වේද එය සොළොස් කලාවක් අගනේ වන්නේය.

“උන්වහන්සේ වනාහි ධ්‍යාන විමොක්ෂයන්ට සමවැදීමෙන් පෙර බත් කාලයෙහි ඒ ධ්‍යානයෙන් නැගිට පිඬු පිණිස යයි.

“එබඳු ගුණ ඇති භික්ෂුව නොගටව, ආර්ය උපවාදයෙන් කුශල ධර්මයන් නොසිඳව, තාදී ගුණයන්ගෙන් යුක්තවූ ඒ රහතුන් කෙරෙහි සිත පහදා ගනුව. වහා ඇඳිලි බැඳ වඳුව. ඒ අපරාධයෙන් හිස නොපැළීම පිණිසයි.

“හෙතෙම සද්ධර්මය නොදකියි. සංසාර බන්ධන පෙරටු කොට අපායෙහි උපදනා හෙයිනි. මායාදී වශයෙන් පවතින මිථ්‍යා මාර්ගයෙහිම පෙරළෙයි.

“සංස්කාරයන්හිම ඇලුනේ අසූචි තැවරුණාක් මෙන් ලාභ සත්කාරයෙහිම බැසගත්තේ ඒ පෝටිලතෙම ශික්ෂාවෙන් අසාරවූයේ වෙසෙයි.

“සුන්දර දැකීමක් ඇති කෙලෙසුන්ගෙන් මනාකොට මිදුනාවූ තැන්පත් කරනලද සිතක් ඇති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ දකුව.

“රාග හුල් ආදිය නැති නිසා විසල්ලවූද කාමයෝගාදිය නැති නිසා වීණා සංයෝගවූද, ත්‍රිවිද්‍යාවෙන් යුක්තවූද, මරුන් බියගන්වන්නාවූද මනුෂ්‍යයින්ගේ උත්තම පින්කෙතක් වන නිසා දක්ෂිණාර්හවූද උන්වහන්සේ බලව.

“ඉර්ධිමත්වූද, පිරිවර ඇත්තාවූද, බ්‍රහ්ම පුරෝහිතවූද, දසදහසක් පමණවූ සියලුම දේවතාවෝ මුගලන් රහතන් වහන්සේට ඇදිලි බැඳ නමස්කාර කරමින් සිටියි.

“ශ්‍රෙෂ්ඨ පුරුෂයාණන් වහන්ස, ඔබට නමස්කාර වේවා. උත්තම පුරුෂය, ඔබට නමස්කාර වේවා. නිදුකාණන් වහන්ස, ඔබ විසින් කෙලෙස් නසනලදද, එයින් දක්ෂිණාර්හයෙක් වූයෙහිය.

“ලොව ඉපිද මරණය යටපත්කොට දෙවිමිනිසුන් විසින් පුදන ලදුව දියනා මිශ්‍ර නොවී සිටින පියුමක් මෙන් සංසාරයන්හි නොඇලී සිටී.

“මහා බ්‍රහ්මයා හා සමවූද මොහොතකින් දහසක් ලෝකධාතුව දතහැකිවූද ඉර්ධි ගුණයන් ඇත්තාවූද දෙවියන්ගේ චුතූප්පත්තිය දකින්නාවූ උන්වහන්සේ මහානුභාව සම්පන්නයහ.

“ප්‍රඥාවෙන්ද සීලව්‍යපසමනයෙන්ද පරතෙරට පැමිණි යම් භික්ෂුවක්වේද, ඒ සියලුදෙනා අතුරෙන් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේම ශ්‍රෙෂ්ඨයි.

“මමද මනෝමය ඉර්ධිය ආදිකොට ඇති සියලු ඉර්ධීන්ගේ වශීභාවයට පත්වූයේ ක්ෂණයකින් ආත්මභාව කෙළලක්ෂයක් නිර්මිත කිරීමටද හැකිවෙමි.

“ශාස්තෲන් වහන්සේගේ ශාසනයෙහි ගුණයන්ගෙන් උසස්වූයේ මොග්ගල්ලාන ගොත්‍රයෙහි උපන්නේ සමාධි විද්‍යාවන්හි කෙළපැමිණියේ සමනය කළ ඉඳුරන් ඇත්තේ ඇතෙක් පුස්වැල් බන්ධනයක් සිඳින්නාක් මෙන් ක්ලේශ බන්ධනය සිඳ දැමීමි.

“මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන ලදී. බුදුන්ගේ අනුශාසනාවද කරන ලදී. ගරු භාරයද සිඳදැමීමි. භව කෙළවරද විනාශ කෙළෙමි.

“යම් අර්ථයක් නිසා ගිහිගෙයින් නික්ම පැවිදි බවට පත්වූයේද, ඒ අර්ථය සියලු සංයෝජනයන් නැතිකිරීමෙන් ලැබ ගතිමි.

“කකුසඳ බුදුන්ගේ ශ්‍රාවකයෙක්වූ විදුර නම් මහා රහතන්වහන්සේට ගටා දූසී නම් මාරතෙමේ කෙබඳුව පැසුනේද?

“කකුසඳ අග්‍රශ්‍රාවක විදුර මහරහතන් වහන්සේ ගටා තුන්ගව් පමණ ආත්මභාවයක් ලැබ තල්ගස් පමණවූ ගිනිගෙණ දිළිහෙන යකඩ හුල්වලින් අනිනුලබන කල්හි ඇති වෙන වේදනාවෙන් යුක්තවූ මෙබඳු නිරයක පැසුනේය.

“යම් බුද්ධශ්‍රාවකයෙක් මෙය දනී නම් එබඳු භික්ෂුවකට ගටා දුකට පත්නොවන්නේය.

“මහා සමුද්‍රය මැද කල්පස්ථායි විමානයෝ වෙත්ද, වෛඩූර්ය වර්ණයෙන් යුක්තවූ ගිනි කඳු මෙන් බබළන්නාවූ ඒ විමන්වල නානා ප්‍රකාර වර්ණයෙන් යුක්තවූ අප්සරාවෝ නටමින් සිටිති.

“යම් බුද්ධශ්‍රාවකයෙක් මෙය දනී නම් එබඳු භික්ෂුවකට ගටා දුකට පත්නොවන්නේය.

“භික්ෂු සංඝයා දක්නාවූ බුදුන් වහන්සේ විසින් යොදවන ලද්දේ මිගාරමාතු ප්‍රාසාදය පාදාංගුලියෙන් කම්පා කෙළේය.

“යම් බුද්ධශ්‍රාවකයෙක් මෙය දනී නම් එබඳු භික්ෂුවකට ගටා දුකට පත්නොවන්නේය.

“ඉර්ධි බලයෙන් උත්සාහවත්වූයේ වෛජයන්ත ප්‍රාසාදයද කම්පා කෙළේය. දෙවියෝ සංවේගයට පැමිණියාහුය.

“යම් බුද්ධශ්‍රාවකයෙක් මෙය දනී නම් එබඳු භික්ෂුවකට ගටා දුකට පත්නොවන්නේය.

“තණ්හක්ඛය විමුක්තිය විචාරණ ලද්දේ වෛජයන්ත ප්‍රාසාදය කම්පාකොට විචාළේය. එකල්හි ශක්‍රතෙම තත්වූ පරිද්දෙන් විසඳන ලදී.

“යම් බුද්ධශ්‍රාවකයෙක් මෙය දනී නම් එබඳු භික්ෂුවකට ගටා දුකට පත්නොවන්නේය.

“සුධර්මා නම් සභාවේ සිටියේ පෙර ඇති කළ දෘෂ්ටිය අදත් පවතින්නේදැයි මහා බ්‍රහ්මයා විචාළේය.

“ප්‍රභාස්වරවූ බඹලොව බොහෝ කාලයක් විසීමෙන් ඒ දෘෂ්ටිය ඇතිවිය. ඇසූ ප්‍රශ්නයට බ්‍රහ්මයාද උත්තර ප්‍රකාශ කෙළේය.

“නිදුකාණන් වහන්ස, මට පළමු දෘෂ්ටියක් ඇතිවී නම් ඒ දෘෂ්ටිය දැන් නැත්තේය. මම නිත්‍යය, ශාස්වතය යනාදීන් ඇතිවූ දෘෂ්ටි බොහෝකල් විසීම නිසා ඇතිවූවෙකි.

“යම් බුද්ධශ්‍රාවකයෙක් මෙය දනී නම් එබඳු භික්ෂුවකට ගටා දුකට පත්නොවන්නේය.

“යමෙක් මහාමේරු පර්වතය දක්නේද එසේම ජම්බුදීපයද, පූර්වවිදේහයද, උතුරුකුරු දිවයිනද යන සියලු ස්ථානයන්හි මනුෂ්‍යයෝ දක්නේ නම්

“යම් බුද්ධශ්‍රාවකයෙක් මෙය දනී නම් එබඳු භික්ෂුවකට ගටා දුකට පත්නොවන්නේය.

“බාලයා මම දවනු ලැබුවේයයි ගින්න ගැණ නොසිතාද එසේ නොදැන බාලතෙම ගිනි ස්පර්ශකොට දැවෙයි.

“මාරය, තෝද එසේම තථාගතයන් වහන්සේ ගටා ගිනි ස්පර්ශ කිරීමෙන් බාලයා දැමුනාක් මෙන් තෝ දැවෙන්නෙහිද?

“මාරය, තථාගතයන් ගටා අකුසල් රැස්කෙරෙහිය. කිමෙක්ද? මාරය, පාපයක විපාක නැත්තේයයි සිතන්නෙහිද?

“මාරය, බොහෝ කාලයක් පව්රැස්කොට දුකට පත්වන්නෙහිද? බුදුන් කෙරෙහිත් භික්ෂූන් කෙරෙහිත් නොගටා වාසය කරව.

“භෙසකලා වනයෙහිදී මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මාරයාට තර්ජනය කළහ. ඉක්බිති දුකට පත් සිත් ඇති මාරතෙම අන්තර්ධාන විය.”

සට්ඨිනිපාතො නිට්ඨිතො.

විවරණ [2]