බරවීම්

පරිවර්තන [15]

වඞ්ඪමාතා ථෙරී ගාථා

“වඞ්ඪය, ලෝකයෙහි තෘෂ්ණාව තට නොවේවා. පුත්‍රය, නැවත නැවත දුකෙහි කොටස් කරුවෙක් නොවේවා.

“වඞ්ඪය, තෘෂ්ණා නැති සැක නැති සිහිල්වූ දමනයවූ පව්හළ මුනීහු සැපසේ වෙසෙති.

“වඞ්ඪය, නුඹ ඒ ඍෂීන් විසින් පුරුදු කළ මග දැකීම් පිණිසද දුක් කෙළවර කිරීම් පිණිසද වඩව.

“මාගේ මෑණිතොම නිර්භය සේ මේ අවවාදය කියයි. මා කෙරෙහි තව ඇළුම් මාත්‍රයකුත් නැතැයි ඒකාන්තයෙන් සිතමි.

“වඞ්ඪය, හීන, උසස්, මැදි ස්වල්පමාත්‍රවූද සංස්කාරයකුත් මට නැත. ස්වල්පවූද තෘෂ්ණාවක් මට නැත.

“අලස නොව ධ්‍යාන කරන්නාවූ මාගේ සියළු පව් ගෙවිණ. තුන් නුවණ ලබන ලදී. බුද්ධාවවාදය කෙළෙමි.

“අනුකම්පා ඇති මාගේ මෑණිතොම පරමාර්ථ සහිත ගාථා නමැති කෝටුවෙන් සිහි ගැන්විය.

“මම ඒ මවගේ අවවාද වචන අසා නිර්වාණය ලැබීම පිණිස ධර්ම සංවේගයට පැමිණියෙමි.

“මව විසින් මෙහෙයන ලද ඒ මම රෑ දවල්හි නොඅලස්ව වීර්ය කිරීමෙහිදු සිත් ඇතිව උතුම් ශාන්තිය ස්පර්ශ කෙළෙමි.”

... වඩ්ඪමාතා ථෙරී....

නවකනිපාතො නිට්ඨිතො.

විවරණ [2]