බරවීම්

Tiểu Bộ Kinh

Thig13.5 කම්මාරධීතා සුභා ථෙරී ගාථා

පරිවර්තන [19]

කම්මාරධීතා සුභා ථෙරී ගාථා

පෙර පිරිසිදුවූ, වස්ත්‍රයෙන් සැරසුනාවූ, බාලවූ මම යම් ධර්මයක් ඇසූයෙම්ද ඒ නොපමාවූ මට චතුරාර්ය සත්‍යාවබෝධ විය.

“එතැන් පටන් මම සියළු කාමයන්හි මහත් කලකිරීමට පැමිණියෙමි. සිය කයෙහි භය දැක පැවිදි වීමම කැමති වීමි.

“මම වනාහි ඥාති සමූහයාද, දැසි දස් කම්කරුවන්ද පිරුණු සිත්කළුවූ මන වඩන ගම් කුඹුරුද හැර

“මට මේ සුදුසු නොවෙයි. කිසිත් නැති බවම පතමි. යමෙක් රන් රිදී හැරදමා අවුත් නැවත පිළිගන්නේද,

“රන් රිදී ආදිය මාර්ගාවබොධයට හෝ නිර්වාණය දැනීමට කරුණු නොවෙයි. ශාන්තිය පිණිස කරුණු නොවේ. මහණකමට සුදුසු නොවෙයි. මෙය ආර්ය ධනයකුත් නොවෙයි.

“ලෝභ උපදවන්නාවූ මදය එළවන්නාවූ, මුළා කරවන්නාවූ, කෙළෙස් වඩන, සැක උපදවන්නාවූ පරිශ්‍රම ඇති මෙහි ස්ථිර පැවැත්මක් නැත.

“මෙහි ඇලුනාවූ, පමාවූ කිලිටි සිත් ඇති මනුෂ්‍යයෝ ඔවුනොවුන් විරුද්ධවූවාහු කලහ වැඩි කෙරෙත්.

“කාමයෙහි ඇලුනවුන්ට වධයද, බැඳීමද, පීඩාද, ධන හානියද, ශොක කිරීම හා හැඬීමද පෙනේ.

“මාගේ නෑවූ තොපි කුමක් හෙයින් ඒ මා සතුරන් මෙන් කාමයෙහි යොදවාද? කාමයන්හි බිය දක්නා මා පැවිදි වූවකැයි දනුව.

“කාමයෝ අමිත්‍රයහ. වධකයෝය, වෛරීහුය. හුල් ඇනීම්ය. අමු රනින් රත්රනින් පව් නොගෙවෙත්.

“මාගේ නෑයෝවූ තොපි සතුරන් මෙන් කුමට ඒ මා කාමයෙහි යොදවාද? හිස මුඩුකළ, සඟල සිවුරු දැරූ මා පැවිද්දෙකැයි දනුව.

“පිණ්ඩපාතාහාරයද, පිඬු සිඟීමෙහි යාමද, පැවිද්දන්ට සුදුසු පාංශුකූල වස්ත්‍රද යන මේ මට සුදුසුයි.

“මහර්ෂීන් විසින් දිව්‍ය මානුෂික කාමයෝ වමාරණ ලදහ. උන්වහන්සේලා නිර්වාණය නිමිති කොට සම්පූර්ණයෙන් මිදුනාහ. නිශ්චල සැපයට පැමිණියාහ.

ගමෙක රැකීමක් නැත්ද එබඳු කාමයන් හා මම එක් නොවෙමි. කාමයෝ වනාහි සතුරුය. වධකරුවෝය. ගිනි කඳන් වැනිය. දුක්ය.

“ඒ කාමය වනාහි උවදුරු සහිතය. බිය දෙයි. සිත තළයි කටු සහිතය. ගිජු බවට හේතුය. ඉතා විෂමය. ලාටුවකි. මුළාවේ දොරටුවය.

“මෝඩ අන්ධ පෘථග්ජනයෝ යමක් ඉතා ප්‍රිය කෙරෙත්ද, ඒ කාමයෝ මහත් උවදුරු සහිතයහ. සර්ප හිසක් වැනිය. භය සහිතය.

“ලෝකයෙහි කාම නමැති මඩෙහි ගැලුනු බොහෝ මූඪයෝ ඉපදීමේද, මරණයේද කෙළවර නොදනිති.

“මනුෂ්‍යයෝ වනාහි තමහට බොහෝ රෝග ගෙන දෙන කාමය හේතුකොට ඇති, නරකයට යන මාර්ගයට පිළිපදිත්.

“සතුරන් උපදවන්නාවූ, තැවීම කරන්නාවූ, ඉතා කෙලෙසන්නාවූ ලෝකයාගේ ඇම වූ බැඳෙන්නාවූ කාමයේ වනාහි පා බඳනාහ.

“කාමයෝ වනාහි උමතු කරවන්නාහ. උස්කොට කියවන්නාහ, සිත පෙළන්නාහ, සත්වයන් කෙලෙසීම සඳහා මරු විසින් අටවනලද පාසයෙකි.

“කාමයෝ වනාහි කෙළවරක් නැති දොස් ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. ඝොර විෂයහ. ස්වල්ප රස ඇත්තාහ. කෙලෙස් වඩන්නාහ. කුසල ධර්මය වියලවන්නාහ.

“හැමවිටම නිර්වාණයෙහි ඇලුනු සිත් ඇති, ඒ මම මෙසේ සලකා කාම හේතුවෙන් හටගන්නා ඒ ව්‍යසනයට නැවත නොඑන්නෙමි.

“කෙලෙස් තරණයකොට කාමයන්ගේ සිසිල කැමතිවන යම ඒ බැඳුම් නැසීමට අප්‍රමාදව වාසය කරන්නෙමි.

“යමෙකින් බුද්ධාදී මහර්ෂීහු එතර වූවාහුද ශොක රහිතවූ රාගාදී රජස් නැති, නිර්භයවූ, අවංකවූ ආර්ය අෂ්ටාංගික මාර්ගයවූ ඒ මාර්ගයෙහි යමි.

“තෘෂ්ණා නැතිකිරීමට පැමිණ රුකක් මුල ධ්‍යාන කරණ කඹුරු දියණියකවූ සුභා නම් මැය දහමින් හොබනාවූ ශ්‍රද්ධා ඇත්තාවූ උත්පලවර්ණාව විසින් හික්මවන ලද තුන් දැනීම ඇති මරු පරයා සිටි මෝතොම පැවිදිව අදට අට දවසකි.

“නිදහස්වූ ණය නැත්තාවූ වඩනලද ඉන්ද්‍රියයන් ඇති සියළු බැඳුමින් වෙන්වූ කටයුතු නිමි මෝ පව් නැත්තියකි.

“සත්වයින්ට අධිපති සක්දෙව් රජ තව්තිසා වැසිදෙව් පිරිස සමග කඹුරු දියණියවූ ශුභා නම් මෙහෙණිය වෙතට ඍද්ධියෙන් පැමිණ නමස්කාර කරයි.”

... සුභා කම්මාරධීතා ථෙරී....

වීසතිනිපාතො නිට්ඨිතො.

විවරණ [2]